මරණ 73 යි: 3,700 ක් රෝහලේ



ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ, ඊයේ (4) රාත්‍රියේ සිදුවුණු ප්‍රබල පිපිරුමෙන් මියගිය ගණන 73 දක්වා ඉහළ ගොස් ඇත. තුවාල ලැබූ ගණන 3,700 ක් යැයි පැවැසෙයි.

තුවාල ලැබූවන්ගෙන් 66 දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් මරණ තවත් ඉහළ යනු ඇති බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පුපුරා ගියේ බීරූට් වරායේ ඇමෝනියම් නයිට්‍රේට් ගබඩා සංකීර්ණයයි. මෙම සංකීර්ණයේ ඇමෝනියම් නයිට්‍රේට් ගබඩා කිරීම ආරම්භ කර ඇත්තේ 2014 වසරේ සිටය. පිපිරුම පරමාණු බෝම්බ පිපිරුමක් වැනි යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණි. පිපිරුම සිදුවෙද්දී ගබඩා සංකීර්ණයේ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,700 ක් තිබුණු බව පැවැසෙයි.

පිපිරුමෙන් ගබඩා සංකීර්ණය ඇතුළු වරාය සම්පූර්ණයෙන් විනාශ වී ගියේය. පිපිරුම සිදුවෙද්දී, වරායේ සිටි පිරිස සියයකට වැඩිය. මළසිරුරු සුන්බුන් යට සිරවී ඇති බව ගිනි නිවන භටයෝ කියති. පිපිරුමත් සමඟ හටගත් ගින්න නිවා දැමීමට පළමුවෙන් පැමිණි ගිනි භටයන් කීප දෙනකු අතුරුදන් බවත්, ඔවුන් ගින්නට හසුවී මියයන්න ඇති බවත් පැවැසෙයි.

බීරූට් වරායේ පිපිරුමේ කම්පන තරංග කිලෝ මීටර් 10 ක් රට ඇතුළට විහිදිණි. ගොඩනැගිලි සහ නිවාසවල ජනෙල් වීදුරු සුනුවිසුණු වී ගියේය. භූමි කම්පාවක් හටගත්තේ යැයි ලෙබනන් වැසියෝ බොහෝ දෙනෙක් බියටත් කලබලයටත් පත්වූහ. පිපිරුමේ ප්‍රබලත්වය සැතපුම් 125 ක් දුරින් පිහිටි සයිප්‍රසයට ද හොඳින් දැනී තිබේ.

පිපිරුම සිදුවුණු සැණින් එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරුණු අතර, ඊශ්‍රායලයට චෝදනා එල්ල විය.  තමන් එම සිදුවීමට සම්බන්ධ නොවන බව ඊශ්‍රායල පිළිතුරු දුන්නේය. ඊශ්‍රායල රජය වැඩිදුරටත් කියා සිටියේ ලෙබනනයට මානුෂීය ආධාර දීමට තමන් සූදානම් බවය.

බීරූට්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)


RECOMMEND POSTS