මරණ සංඛ්‍යාව ඉහළ යයි



බීරූට් අගනුවර වරායේ, සිදුවුණු ප්‍රබල පිපිරුමට හසුවීමෙන් මියගිය ගණන තවත් ඉහළ යනු ඇතැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පිපිරීම සිදුවූයේ ඊයේ (4) ය. තුවාල ලැබූවන්ගෙන් 66 දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් මරණ තවත් ඉහළ යනු ඇති බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

පුපුරා ගියේ බීරූට් වරායේ ඇමෝනියම් නයිට්‍රේට් ගබඩාවකි. පොහොර වශයෙන් පමණක් නොව, පුපුරන ද්‍රව්‍ය වශයෙන් ද ඇමෝනියම් නයිට්‍රේට් භාවිත කෙරේ. වරාය ගබඩාවේ ගොඩ ගසා තිබුණු ඇමෝනියම් නයිට්‍රේට් තොගය 2013 දී ගබඩාව වෙත ගෙනැවිත් තිබේ.

ඒ, එම තොගය අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබුණු නැව ලෙබනන් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වීමෙන් පසුවය. පිපිරුම සිදුවෙද්දී ගබඩාවේ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,700 ක් තිබුණු බව මේ වනවිට අනාවරණය වී තිබේ.

වරායේ ඇතිවුණු ගින්නක් ගබඩාවට පැතිර යෑමෙන් ගබඩාව පුපුරා ගියේ යැයි ගිනි නිවන භටයෝ පවසති. ගින්න නිවා දැමීමට ආ ගිනි නිවන භට කණ්ඩායමක් ද මහා පිපිරුමට හසුවී ජීවිතක්ෂයට පත් වූහ. වරායේ සිදුවුණු එම ප්‍රබල පිපිරුමේ කම්පන තරංග කිලෝ මීටර් 10 ක් 15 ක් රට ඇතුළට විහිදිණි.

පිපිරුමට හසුවුණු බීරූට් නුවර ප්‍රධාන රෝහල් තුනක් මුළුමනින්ම බිමට සමතලා විය. වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් බොහෝ දෙනකු සුන්බුන්වලට යටවී ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ. විදෙස් තානාපති කාර්යාල රැසකට ද පිපිරුමෙන් හානි සිදුවිය.
ගොඩනැගිලි සහ නිවාසවල ජනෙල් වීදුරු සුනුවිසුණු වී ගියේය.

එම අවස්ථාවේදී භූමි කම්පාවක් හටගත්තේ යැයි ලෙබනන් වැසියෝ බොහෝ දෙනෙක් බියටත් කලබලයටත් පත්වූහ. පිපිරුමේ ප්‍රබලත්වය කිලෝ මීටර් 240 ක් දුරින් පිහිටි සයිප්‍රසයට ද හොඳින් දැණුනු බවත් පිපිරුමේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 3.5 ක් සටහන් කළ බවත් පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS