මක්කම මුස්ලිම් දේවස්ථාන විවෘත කෙරේ



මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධ නගරය ලෙස සැලකෙන සෞදි අරාබියේ මක්කම පිහිටි මුස්ලිම් දේවස්ථාන සියල්ල විවෘත කිරීමට පියවර ගන්නා බව සෞදි රජය කියයි.

මුස්ලිම් දේවස්ථාන විවෘත වනු ඇත්තේ හෙට (21) සිටය. දේවස්ථාන වසා දැමීම සිදුවූයේ 'කොවිඩ් 19' වයිරස වසංගතය හමුවේ, රට ලොක්ඩවුන් කළ අවස්ථාවේ පටන්ය.‍ ඒ, මීට මාස 3 කට පෙරය.

වයිරස ආසාදිතයන් ගණන තවමත් අඩු වී නොමැති නමුත්, සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් අනුව, ජනතාව දැනුවත් කිරීමෙන් පසු මුස්ලිම් දේවස්ථාන යාඥා සඳහා විවෘත කෙරේ.

අද (20) දිනයේ මක්කම සියලු මුස්ලිම් දේවස්ථාන විෂබීජහරණයට ලක් කරන බව ද සෞදියේ අල් එක්බරියා රාජ්‍ය පුවත් නාළිකාව පවසා ඇත.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින්, දේවස්ථානවලට පැමිණෙන ලෙසත්, මුහුණු ආවරණ පැලඳීම, නිරන්තරයෙන් දෑත් පිරිසුදුව තබා ගැනීම වැදගත් බවත් සෞඛ්‍ය බලධාරීන් සෞදි වැසියන්ට උපදෙස් දී ඇත.

'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙන් හජ් වන්දනා සමය ජූලි මාසයේ පැවැත්වීමට සෞදි ආගමික නායකයන් තීරණය කර ඇති නමුත් ඒ සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

සෞදි අරාබියෙන් වාර්තා වන 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 1,50,000 පසු කර ඇති අතර මරණ වාර්තා වන්නේ 1,200 ක් ලෙසය.

(අල් ජසීරා)


RECOMMEND POSTS