බේරූට් වරායේ ගින්න පාලනය කෙරේ



ලෙබනනයේ බේරූට් වරායේ ඊයේ (10) හටගත් ගින්න පාලනය කර ගැනීමට ගිනි භටයන් සමත් වුණැයි පැවැසෙයි.

ගින්න හටගත්තේ පිපිරුමක් ද සමඟය. ගිනි නිවන භටයන් පැවැසුවේ වරායේ තීරුබදු රහිත (ඩියුටි ෆ්‍රී) භාණ්ඩ රඳවා ඇති ගඩාවේ තෙල් සහ ටයර් ඇසුරුම් ගබඩා කාමරයක පිපිරීම සිදුවී ගින්න හටගත් බවය. ගිනි නිවන භටයන්ගේ සහායට ලෙබනන් හමුදාව ද යෙදවිණි. පැය ගණනක සටනකින් පසු ගින්න නිවා දැමීමට පිරිස සමත් වූහ.

බේරූට් වරායේ මහා පිපිරුම සිදුවූයේ පසුගිය අගෝස්තු 4 වැනිදාය. පරමාණු බෝම්බ පිපිරුමකට නොදෙවැනි වූ එම මහා පිපිරුමට හේතුව අනාරක්ෂිත ආකාරයට ගබඩා කළ ‘ඇමෝනියම් නයිට්රේට්’ තොගයකි. එම පිපිරුමට හසුවීමෙන් මියගිය ගණන 200 කට වැඩිය. තුවාල ලැබූ ගණන 4,000 කි.

ඊයේ (10) යළිත් වරක් වරායේ පිපිරුම සිදුවුණු අවස්ථාවේදීත් ගින්න හටගත් අවස්ථාවේදීත්, බේරූට් වැසියෝ මහත් සේ බියට පත් වූහ. ඒ, අගෝස්තු 4 වැනිදා පිපිරුම සිහිවීමෙනි.

බේරූට්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS