බි‍්‍රතාන්‍ය තෙල් නැවට පහර දෙන්න හදලා



බි‍්‍රතාන්‍යයට අයත් තෙල් නැවකට පහරදීමට පැමිණි ඉරාන විප්ලවීය හමුදාවට අයත් යැයි විශ්වාස කෙරෙන කුඩා බෝට්ටු පහක් පලවා හැරීමට බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාව සමත් විය.

බි‍්‍රතාන්‍යයට අයත් මෙම තෙල් නැව, ඉරාන විප්ලවීය හමුදාවට අයත් යැයි සැක කෙරෙන කුඩා ප‍්‍රහාරක යාත‍්‍රා විසින් වට කරනු ලැබ ඇත්තේ ඉරානයට ඔබ්බෙන් පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධියේදීය.

තෙල් නැව වට කළ ප‍්‍රහාරක යාත‍්‍රා උත්සාහ ගෙන ඇත්තේ නැව ඔවුන් යටතට ගැනීමටය. බි‍්‍රතාන්‍ය තෙල් නැවේ ආරක්ෂාවට, බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත්, මොන්ට්‍රෝස් නමැති යුද නැව යොදවා තිබුණි. තෙල් නැව වට කිරීමට ආ ඉරාන යාත‍්‍රා පන්නා දැමීමට පියවර ගත්තේ මොන්ට්‍රෝස් යුද නැවේ සිටි නාවික හමුදා භටයන්ය.

පසුගිය සතියේ, සිරියාව බලා යාත‍්‍රා කරන්න වූ ඉරානයට අයත් දැවැන්ත තෙල් නැවක් ජිබ්‍රොල්ටාවට ඔබ්බෙන් මුහුදේ දී අත්අඩංගුවට ගැණුනි. ජිබ්‍රොල්ටා බලධාරීන්, ඒ සඳහා මෙහෙයවූයේ බි‍්‍රතාන්‍යයයි. ජිබ්‍රෝල්ටා යනු අයිබීරියානු අර්ධ ද්වීපයේ දකුණු කෙළවර, මධ්‍යධරණී මුහුදට පිවිසෙන ස්ථානයේ බි‍්‍රතාන්‍යයට අයත් සාගර බල ප‍්‍රදේශයකි. 

‘ගේ‍්‍රස් 1’ නමැති එම නෞකාව අත්අඩංගුවට ගන්නැයි උපදෙස් බලා දී ඇත්තේ ඇමෙරිකාව යැයි ද පැවැසෙයි.

‘ගේ‍්‍රස් 1’ නැව අත්අඩංගුවට ගැනීම සිදුවූයේ එය, යුරෝපා සංගමය විසින් පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින් සිරියාවට තෙල් සැපැයීමට ඉරානය පියවර ගැනීම නිසාය. ‘ගේ‍්‍රස් 1’ තෙල් නැව බොර තෙල් රැුගෙන සිරියාවේ බානියාස් පිරිපහදුව බලා යාත‍්‍රා කරමින් තිබුණි. යුරෝපා සංගමය විසින් සම්බාධක දමනු ලැබ ඇත්තේ මෙම පිරිපහදුවටය.

තම තෙල් නැව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉරානය බි‍්‍රතාන්‍යයට දැඩි විරෝධයක් දැක්වීය. ඒ, ඉරානයේ තෙහෙරාන් අගනුවර සිටින බි‍්‍රතාන්‍ය තානාපතිවරයා කැඳවමිනි. ‘ගේ‍්‍රස් 1’ තෙල් නැව වහා නිදහස් කරන්නැයි ඉරානය බල කරන්න වූ අතර, ඉරාන විප්ලවීය හමුදාව කියා සිටියේ, තම තෙල් නැව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‘පළිගන්නා’ බවය. හෝමූස් සමුද්‍ර සන්ධියේ දී බි‍්‍රතාන්‍ය තෙල් නැවට ඉරාන හමුදාව පහර දී තෙල් නැව අල්ලා ගැනීමට ඉරාන විප්ලවීය හමුදා උත්සාහ ගෙන ඇත්තේ ඒ අනුවය.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS