පාප්තුමා කනස්සල්ලෙන්



ලෝක උරුමයක් ලෙස සැලකෙන ‘හගියා සොෆියා’ කෞතුකාගාරය මුස්ලිම් පල්ලියක් බවට පත් කිරීමට තුර්කි රජය ගත් තීරණය තම කනස්සල්ලට හේතුවක් වූ බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා වතිකානයේ පැවැති දේව මෙහෙය අතරතුරේ පැවැසුවේය.

හගියා සොෆියා කෞතුකාගාරය බවට පත් කෙරුණු ගොඩනැගිල්ල පළමුවෙන් ඉදි කෙරුණේ වසර 1,500 කට පෙර ක්‍රිස්තියානි දෙවු මැදුරක් ලෙස බවත්, ඔටෝමාන් අධිරාජ්‍යය යටතේ එය මුස්ලිම් පල්ලියක් වූයේ 1453 දී බවත් පාප්තුමෝ පෙන්වා දුන්හ.

හගියා සොෆියා කෞතුකාගාරයක් ලෙස නම් කෙරුණේ තුර්කියේ ජනරජයේ පියා ලෙස සැලකෙන අටාටුක් පාලන සමයේදී එනම් 1943 වසරේදීය. යුනෙක්කෝ ලෝක උරුමයක් ලෙස හගියා සොෆියා නම් කෙරුණේ ද එම වසරේදීය. ඒ අනුව, හලියා සොෆියා කිතුනුවන්ගේත් මුස්ලිම් වැසියන්ගේත් සංචාරක ආකර්ශණයක් බවට පත් විය.

හගියා සොෆියා කෞතුකාගාරය යළි මුස්ලිම් පල්ලියක් බවට පත් කෙරුණේ තුර්කි රජය කළ ඉල්ලීමකට එරට අධිකරණයේ අවසරය හිමිවීමෙනි. හගියා සොෆියා තුර්කියේ අභිමානයක් බවත්, එය යළි මුස්ලිම් පල්ලියක් බවට පත් කිරීමට ගත් තීරණය තුර්කියේ ස්වෛරීත්වය සම්බන්ධයෙන් ගත් තීරණයක් බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසා ඇත.

හගියා සොෆියා කෞතුකාගාරය මුස්ලිම් පල්ලියක් ලෙස නම් කිරීමට තුර්කි රජය පියවර ගැනීම සම්බන්ධවෙන් ජගත් ප්‍රජාව සිය අප්‍රසාදය පළ කර තිබේ.

වතිකානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS