පාකිස්තාන වෛද්‍යවරුන්ට රැකියා අහිමි වෙයි



පාකිස්තානයේ පශ්චාත් වෛද්‍ය උපාධි ප්‍රතික්ෂේප කිරීමට සෞදි අරාබිය මේ මස මුලදී තීරණය කිරීමත් සමඟ එරට සිටින පාකිස්තාන වෛද්‍යවරුන් සිය ගණනකගේ රැකියා සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ.

මේ තත්ත්වය නිසා සෞදි අරාබියේ සිටින පාකිස්තාන වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ සහ ඔවුන් සෞදි අරාබියෙන් පිටුවහල් කිරීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පැවසේ.
‘සෞඛ්‍ය විශේෂතා සඳහා සෞදි කොමිසම’ සෞදි අරාබියේ සිටින පාකිස්තාන වෛද්‍යවරුන්ට සේවය අවසන් කිරීමේ ලිපි ද යවා ඇති බව පාකිස්තානයේ ඩෝන් පුවත්පත අගෝස්තු 7 වැනිදා වාර්තා කර තිබිණි.

සෞදි බලධාරීන් ගන්නා ලද තීරණයට අනුව සෞදි අරාබිය තුළ වෛද්‍ය වෘත්තීයේ නිරත වීම සඳහා අදාළ වෛද්‍ය වෘත්තීය බලපත්‍ර ලබාගැනීම පාකිස්තානයේ පශ්චාත් උපාධි සුදුසුකමක් ලෙස පිළිනොගැනේ. 

සෞදි අරාබියේ සිටින පාකිස්තාන වෛද්‍යවරුන් රැසකට මෙම ලිපි යවා ඇති බවත් ලිපි ලද බොහෝමයකට රටින් පිටවන ලෙස හෝ කඩිනම් පිටුවහල් කිරීමකට සූදානම් සිටින ලෙස හෝ දන්වා ඇති බව ද ඩෝන් පුවත්පත වාර්තා කර තිබිණි.

වෛද්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීන් සඳහා අදාළ පාකිස්තාන උපාධිවල අවශ්‍ය වෛද්‍ය පුහුණුව නැතැයි සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

මෙම තත්ත්වයත් සමඟ දශක ගණනාවක් මුළුල්ලේ සෞදි අරාබියේ වෛද්‍ය වෘත්තියේ නියැළී සිටි පාකිස්තාන වෛද්‍යවරුන් රැසක් අර්බුද ගණනාවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

“සෞදි බලධාරීන් කිසිදු පූර්ව දැනුම් දීමක් කරන්නේ නැතිව එක රැයෙන් වෘත්තීය සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් යනාදිය වෙනස් කරලා. අපි දන්නේ නැහැ ඊළඟට මොකද වෙන්නේ කියලා” යැයි සෞදි අරාබියේ සිටින එක් පාකිස්තාන වෛද්‍යවරයෙක් කීය.

සෞදි අරාබියේ සිටින පාකිස්තාන වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් සෞදි බලධාරීන්ගෙන් විමසීම් කර ඇති නමුත් ඔවුන්ට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලැබී නැත. පිටුවහල් කරනතු-රු වලංගු බලපත්‍රයක් නොමැතිව වුවත් සේවයේ යෙදෙන බව ඇතැම් පාකිස්තාන වෛද්‍යවරු කීහ.

“මම සෞදි අරාබියට ආවේ සල්ලි හොයන්න ඕනේ. මං පාකිස්තානයේදී හොයනවාට වඩා දහ ගුණයක් සෞදි අරාබියේදී හොයනවා. ඒත් දැන් වෙලා තියෙන්නේ ලොකු අවුලක්” යැයි තවත් වෛද්‍යවරයෙක් කීවේය.

පාකිස්තාන වෛද්‍යවරුන් සෞදි අරාබියේ සේවය කිරීමට හේතු ගණනවක් ඇතැයි පාකිස්තාන වෛද්‍ය සංගමයේ වෛද්‍ය ටිපු සුල්තාන් පැවැසීය. මූල්‍ය ප්‍රතිලාභවලට අමතරව ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධාන ශුද්ධ නගර දෙකක් වන මක්කම හා මදීනාව සෞදි අරාබියේ පිහිටා තිබීම නිසා ද දකුණු ආසියාවේ සිටින මුස්ලිම් ජාතිකයන් රැකියා සඳහා සෞදි අරාබියට යන බව වෛද්‍ය සුල්තාන් කීය.

2000 වසරේ සිට පාකිස්තානයේ විවිධ නගරවල සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමද එරටින් වෛද්‍යවරුන් වැඩි වශයෙන් සෞදි අරාබියට පැමිණීමට හේතු වී තිබේ. පසුගිය කාලයේදී ෂියා මුස්ලිම් වෘත්තිකයන් සහ වෛද්‍යවරුන් වැඩි පිරිසකට ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ජීවිත අහිමි විය. ජීවිත අහිමි වීමේ අවදානම නිසා වෛද්‍යවරුන් 2000කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇතැයි ද පැවසේ.

මේ තත්ත්වය ඇති වීමට පාකිස්තාන වෛද්‍ය විද්‍යාලයේ සහ පාකිස්තාන ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය වගකිව යුතු යැයි ද සෞදි අරාබියේ සිටින පාකිස්තාන වෛද්‍යවරු චෝදනා කළහ.
පාකිස්තාන වෛද්‍යවරුන් උපාධි ලබාගන්නේ පර්යේෂණ කිරීමෙන් බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා සායනික පුහුණුව නොලබන බවත් සෞදි සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ජෙඩා හි පෞද්ගලික රෝහලයක සේවය කරන වෛද්‍යවරයෙක් පැවැසීය.

මෙලෙස පීඩාවට පත්ව ඇති වෛද්‍යවරුන් බොහෝදෙනා පාකිස්තානයේ පැරැණිතම සහ ප්‍රමුඛතම මෙන්ම පිළිගත් විශ්ව විද්‍යාලවලින් උපාධි ලබාගත් වෛද්‍යවරුන්  යැයි ද පැවසේ. සෞදි අරාබිය 1962 වසරේ සිට ඇතැම් විශ්ව විද්‍යාලවල උපාධි, වෘත්තීය සුදුසුකමක් ලෙස පිළිගෙන ඇති බව ද කියැවේ.

මෙම අර්බුදයට මුල සෞදි බලධාරීන් සහ නිලධාරීන් විදෙස් වෛද්‍යවරුන් සේවයට බඳවා ගැනීමේදී අදාළ වර්ගීකරණ පද්ධතිය තේරුම් නොගැනීම යැයි ද වාර්තා වේ.

පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති නමුත් මෙම කරුණ සම්බන්ධයෙන් පාකිස්තාන රජය කර ඇති මැදිහත් වීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි යැයි වෛද්‍යවරු චෝදනා කරති.

සෞදි වෛද්‍යවරුන් සෞදි වෛද්‍ය වෘත්තීය ක්ෂේත්‍රය තුළ ඒකාධිකාරියක් පවත්වාගෙන යෑමට උත්සාහ කරන බවට ද චෝදනා එල්ල වී තිබේ.

මිඞ්ල් ඊස්ට් අයි පුවත් සේවය මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම පාකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට උත්සාහ කළ ද එය අසාර්ථක වී තිබේ.
පාකිස්තාන වෛද්‍යවරුන්ගේ නික්ම යෑමෙන් සෞදි අරාබිය තුළ විශේෂ කුසලතා සහිත වෛද්‍ය වෘත්තිකයන්ගේ හිඟයක් නිර්මාණය කරනු ඇතැයි ඇතැම් පාර්ශව ප්‍රකාශ කරන අතර සෞදි සෞඛ්‍ය කවුන්සිලය එරට රෝගීන් අවදානමේ හෙළන බවට ද චෝදනාවක් එල්ල වී තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා
එම්.ඊ.අයි. ඇසුරිනි 


RECOMMEND POSTS