පළමු එන්නත අගමැති නෙදන්යාහුට



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති ‘ෆයිසර් බයෝඇන්ටෙක්’ එන්නත ඊශ්‍රායල වැසියන්ට ලබා දීම ආරම්භ වුණු අතර, පළමුවෙන් එන්නත ලබා ගත්තේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය.

71 හැවිරිදි නෙදන්යාහු, ටෙල් අවීව් නුවර, ෂෙබා වෛද්‍ය මධ්‍යස්ථානයේදී එන්නත ලබා ගන්නා අයුරු සජීවීව එරට රූපවාහිනී නාළිකාවලින් විකාශය කෙරුණි.

‘ෆයිසර් බයෝඇන්ටෙක්’ එන්නත සම්බන්ධයෙන් බියක් හෝ සැකයක් හෝ ඇති කර නොගන්නා බව එන්නත ලබා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය‍. අග්‍රාමාත්‍ය නෙදන්යාහු සමඟ ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍ය යූලී එඩෙල්ස්ටින් ද එන්නත ලබා ගත්තේය.

‘එන්නත ලබා ගන්න බිය වන්න එපා. වෛද්‍යවරුන් ඔබට එන්නත ලබා ගන්න සුදුසු බව නිර්දේශ කළොත්, එය ලබා ගන්න. එන්නත ආරක්ෂිතයි. මමත් සෞඛ්‍ය ඇමැතිවරයාත් මුලින්ම එන්නත ලබා ගන්නේ ඒ බව පෙන්වන්නයි. අද ඓතිහාසික දිනයක්. ඉදිරියේ දී කොරෝනා වයිරසය මර්දනය කරමින්, දෛනික කටයුතු යළි ආරම්භ කරන්න අපට හැකිවේවි’ යැයි අග්‍රාමාත්‍ය නෙදන්යාහු පැහැදිලි කළේය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහ ඇමෙරිකාව අතර ඉතා සමීප සබඳතා පවතින හෙයින්, ඔහු සෘජුවම ඇමෙරිකන් ‘ෆයිසර්’ සමාගම සමඟ සාකච්ඡා පවත්වා එන්නත් මිලියන 8 ක් ලබා ගැනීම පියවර ගෙන තිබේ. ‘ෆයිසර්’ සමාගම එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම සමඟ එක් වෙමිනි.

එන්නත සෙල්සියස් අංශක රින 70 ක උෂ්ණත්වයක් යටතේ ගබඩා කළ යුතු වෙයි. ඒ සඳහා ජංගම ශීතකරණ මේ වනවිටත් සූදානම් කර ඇතැයි ඊශ්‍රායල සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත.

හෙට (21) සිට දිනකට 60,000 කට එන්නත් ලබා දීමට නියමිත බව ද ඊශ්‍රායල සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත. පළමු අදියර යටතේ එන්නත ලබා දෙන්නේ ඊශ්‍රායලයේ ඉදිරි පෙළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ සේවක සේවිකාවන්ට සහ වැඩිහිටියන්ට යැයි පැවැසෙයි.

ඊශ්‍රායල වැසියන්ට එන්නත ලැබුණ ද ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින පලස්තීන පාලන ප්‍රදේශවල මිලියන ගණනක් පලස්තීනුවන්ට කිසිදු එන්නතක් හිමි නොවනු ඇතැයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන පෙන්වා දෙයි.

ඊශ්‍රායල බලහත්කාරයෙන්, පලස්තීනුවන් වාසය කරන බටහිර ඉවුර, ගසා තීරය සහ නැගෙනහිර ජෙරුසලමට අයත් පළාත් අත්පත් කරගත්තේ 1967 වසරේ මැදපෙරදිග යුද්ධයේදීය.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය හෙවත් මැද පෙරදිග අර්බුදය උත්සන්න වී ඇත්තේ ද මේ නිසාය. පලස්තීන පාලන අධිකාරිය 1990 දශකයේ සිට, බටහිර ඉවුරේ පාලන කටයුතු සිදුකරයි. ඒ, ඊශ්‍රායල රජය සමඟ ඇති කරගත් සාම ගිවිසුමකට අනුවය.

ජෙරුසලමේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS