පළමු ඊශ්‍රායල ගුවන් යානය අඩුබායි එයි



එදිරිවාදිකතම් පසෙකලා, ඊශ්‍රායලයත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වීමෙන් පසු, ඊශ්‍රායල නියෝජිත කණ්ඩායමක් රැගත් විශේෂ ගුවන් යානයක් ටෙල් අවීව් සිට අබුඩාබි බලා පැමිණියේය.

ඊශ්‍රායල නියෝජිත කණ්ඩායම අබුඩාබි බලා පැමිණියේ සාමයේ පණිවුඩය ද රැගෙනය. ගුවන් ගමනට ඇමෙරිකන් නියෝජිතයෝ කණ්ඩායමක් ද අබු ඩාබි බලා පැමිණියහ. ඊශ්‍රායලයත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් අතර යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිර්මාණය වූයේ ඇමෙරිකාව මැදහත්කරුවකු ලෙස කටයුතු කිරීමෙනි.

මැදපෙරදිග මුස්ලිම් රටවල් සහ යුදෙව් ඊශ්‍රායලය සමඟ එදිරිවාදිකම් පවතින්නේ ඊශ්‍රායලයෙන් පලස්තීනුවන්ට එල්ල වන කෙණෙහිලිකම් මුල්කොට ගනිමිනි. ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා පවත්වන සෙසු මුස්ලිම් රටවල් වන්නේ ඊජිප්තුව සහ ජෝර්දානය පමණි.

ඊශ්‍රායල නියෝජිත කණ්ඩායම රැගත් එම විශේෂ ගුවන් යානය අබුඩාබි පැමිණියේ සෞදියට ඉහළිනි. සෞදියට ඉහළින් පියාසර කිරීමට අවසර දෙන්නැයි ඊශ්‍රායලය සෞදි රජයෙන් ඉල්ලා තිබුණි. ඊශ්‍රායල වාණිජමය ගුවන් යානයක් සෞදි ගුවන් සීමාවට පිවිස, සෞදියට ඉහළින් පියාසර කළේ ඉතිහාසයේ පළමු වතාවටය.

තමන් ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා ඇති කර ගන්නේ ඊශ්‍රායලය පලස්තීනුවන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් පිහිටුවා, පලස්තීනුවන්ගේ ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කළහොත් පමණක් යැයි සෞදි රජය පවසා තිබේ.

අබුඩාබිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS