පලස්තීන සිරකරුවන්ටත් එන්නත



ඊශ්‍රායල සිරකරුවන්ට ද ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම මේ වනවිට ආරම්භ වී ඇත. එම සිරකරුවන් අතරේ පලස්තීනුවන් 4,400 ක් සිටින බවත්, ඔවුන්ට ද එන්නත් ලැබෙනු ඇති බවත් ඊශ්‍රායල රජය පවසා ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ ඔහුගේ මැදිහත් වී මිලදී ගෙන, ඊශ්‍රායල වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතය.

ඊශ්‍රායලය ඇමෙරිකාවේ සමීපතම මිතුරන්ගෙන් කෙනෙකි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් ගනුදෙනු සාකච්ඡා කළේ සෘජුව ‘ෆයිසර්’ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වමිනි. මේ වනවිට වැඩිම පිරිසකට එන්නත් ලබා දී ඇති රට ලෙස සැලකෙන්නේ ඊශ්‍රායලයයි.

ඊශ්‍රායල බන්ධනාගාරවල සිටින පලස්තීනුවන් 4,400 දෙනාගෙන් 250 දෙනකු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. ඊශ්‍රායලයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන ඊයේ (17) වනවිට 5,48,332 ක් ලෙස සටහන් වූ අතර සමස්ත මරණ වාර්තා වන්නේ 4,005 ක් ලෙසය.

මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජගත් සංවිධාන දිගින් දිගටම බන්ධනාගාරවල පසුවන පලස්තීන රැඳෙවියන්ට පමණක් නොව, ඊශ්‍රායල පාලනය යටතේ පවතින ගාසා තීරයේ පලස්තීනුවන්ට ද එන්නත ලබා දිය යුතු යැයි ඊශ්‍රායල රජයට බල කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. බටහිර ඉවුරේ පලස්තීනුවන් මිලියන 2.8 ක්  ද ගාසා තීරයේ පලස්තීනුවන් මිලියන දෙකක් ද ජීවත් වෙති.

(රොයිටර්)


RECOMMEND POSTS