පලස්තීනුවන්ගේ ගැලවුම්කාරයා වෙන්නේ නෑ



ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුණු ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් පලස්තීනුවන්ගේ ගැලවුම්කරුවා නොවනු ඇති බවත්, ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදයට බයිඩන් පැහැදිලි විසඳුමක් ලබා දේවි යැයි විශ්වාසය තැබිය නොහැකි බවත් පලස්තීන පාලන අධිකාරිය පවසයි.

පලස්තීන පාලන අධිකාරිය මෙසේ පැවැසුවේ, බයිඩන් ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඔහුට සුබ පතමින්ය‍. ‘‌ඩොනල්ඩ් ට්‍රම්ප් තව සිවු වසරක් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළා නම්, පලස්තීනුවන්ට දෙවියන්ගේම පිහිටයි. ට්‍රම්ප්ගෙන් පලස්තීනුවන්ට අසාධාරණකම් හුඟක් සිදුවුණා. මැදපෙරදිග අර්බුදයට ට්‍රම්ප් ඉදිරිපත් කළ සාම සැලැසුම් අසාර්ථක වුණා. එසේ වුවත් නව ජනාධිපති බයිඩන්ගෙන් ද මැදපෙරදිග අර්බුදයට පැහැදිලි විසඳුමක් ලැබේවි යැයි අපට සියයට සියයක් විශ්වාසය තබන්න අමාරුයි.’ යැයි පලස්තීන පාලන අධිකාරිය පෙන්වා දී තිබේ.

මැදපෙරදිග අර්බුදයට සාමකාමී, සාධාරණ විසඳුමක් ලබා දෙනවා යැයි බයිඩන් පවසා ඇති නමුත්, එය නිසැකවම ඊශ්‍රායලයට වාසිසහගත එකක් වනු ඇතැයි පලස්තීන පාලන අධිකාරියේ අදහස වී තිබේ. ජෝ බයිඩන්, ඔබාමා පරිපාලන සමයේ ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයාය. ඊට පෙර ඔහු ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ සභාපති ලෙස කටයුතු කර තිබේ. විදේශ කටයුතු සම්බන්ධයෙන් සහ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ට්‍රම්ප්ට වඩා බයිඩන්ට හොඳ දැක්මක් ඇති බව ජගත් දේශපලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

ඊශ්‍රායලය මෙන්ම පලස්තීනය ද අයිතිය ඉල්ලන ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර යැයි ට්‍රම්ප් විසින් නම් කරනු ලැබුවේ, ඊට ලොව පුරා දැඩි විරෝධයක් එල්ල වෙද්දීය. ට්‍රම්ප් එසේ කළේ ඊශ්‍රායල ඇමෙරිකන් තනාපති කාර්යාලය ජෙරුසලමට මාරු කරමිණි. දූෂණ චෝදනා එල්ල වී සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ට්‍රම්ප්ගේ සමීපතම මිතුරකු වන අතර, ට්‍රම්ප් යුදෙව් වැසියන්ගේ සැබෑ මිතුරකු බව නෙදන්යාහු පවසා ඇත. ඇමෙරිකාව, පලස්තීනයට වඩා ඊශ්‍රායාලයට වැඩි නැඹුරුවක් දක්වන්නේ, ඇමෙරිකාවේ යුදෙව් වැසියන් නිසාය. ජනාධිපතිවරණය දී එම යුදෙව් වැසියන්ගේ ඡන්දය ඉතා වැදගත් වෙයි.

මැදපෙරදිග අර්බුදයට විසඳුම් සෙවීමට, මැදපෙරදිග රටවල් සම්බන්ධ කර ගැනීම ට්‍රම්ප්ගේ අදහස විය. ඒ අනුව, යුදෙව් ඊශ්‍රායලය සමඟ කලාපීය මුස්ලිම් රාජ්‍යයන් වන බහරේනයත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් මිතුරු කරවීමට ට්‍රම්ප්ට හැකියාව ලැබුණි. ඊශ්‍රායලය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සෞදි අරාබිය යොමු කිරීමට ද ට්‍රම්ප් සමත් විය. මෙය පලස්තීනුවන්ගේ දැඩි විරෝධයට හේතුවක් වූ අතර, පලස්තීනුවන් චෝදනා කළේ බහරේනයත්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් තමන්ට ද්‍රෝහි වූ බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS