න්‍යෂ්ටික එකඟතාවෙන් ඉරානය ඉවත් වෙයි



ඉරානය 2015 දී ලෝක බලවතුන් සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතාවට අදාල කොන්දේසි කිහිපයක් අතහැර දැමීමට තීරණය කර තිබේ.

ඉරානය මෙසේ න්‍යෂ්ටික එකඟතාවට අදාල කොන්දේසිවලින් ඉවත් වූයේ ඇමෙරිකාව එම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කර ගැනීමටත්, ඉරානයට වෙළෙඳ සහ ආර්ථික සබඳතා පැනැවීමටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කර ඇති නිසාය.

2015 වසරට පෙර ඉරානය හිතුවක්කාර අන්දමින් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ක්‍රියාත්මක කළේය. දිගු දුර මිසයිල අත්හදා බැලුවේය. ඉරානයේ මෙම න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් විය. ඇමෙරිකාව, ආර්ථික සහ වෙළෙඳ සබඳතා පනවමින් ඉරානය ලොවෙන් හුදෙකලා කිරීමට කටයුතු කළේ ඒ අනුවය.

2015 වසර වෙද්දී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. ඔබාමාගේ උපදෙස් පරිදි ඇමෙරිකා රාජ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ජෝන් කෙරී මැදිහත් වී, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, චීනය සහ යුරෝපා සංගමය එක් වී ඉරානය සමඟ න්‍යෂ්ටික එකඟතාවක් ඇති කර ගත්තේය. ඒ අනුව, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු අත්හැර දැම්මේය.

ඒ අනුව, ඔබාමා ඇමෙරිකාව ඉරානයට පනවා තිබුණු ආර්ථික සහ වෙළෙඳ සම්බාධක ඉවත් කළේය. ඉන්පසු ඉරානය යළිත් වරක් නිදහසේ ඔවුන්ගේ තෙල් වෙළෙඳ කටයුතු කරගෙන ගියේය.

ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වෙද්දී කියා සිටියේ ඉරානය සහ ජගත් ප්‍රජාව ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාව නීතිවිරෝධී එකක් කියාය. ඒ අනුව, ඇමෙරිකාව මේ වනවිට එම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වී, ඉරානයට යළිත් වරක් ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත. ඇමෙරිකාව ඉවත් වුවත් සෙසු රටවල් සහ යුරෝපා සංගමය පවසා ඇත්තේ දිගටම ඉරානය සමඟ එක් වී සිටින බවය.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS