දඬුවම් ලැබිය යුතුයි



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනයට සම්බන්ධ සැමට තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු යැයි කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල් රහ්මාන් අල් තානී කියයි.

කටාර් විදේශ ඇමැතිවරයා මෙසේ කියා සිටියේ ඉතාලියේ රෝමයේ පැවැත් වුණු සම්මන්ත්‍රණයක් අමතමිනි. කශොග්ජී ඝාතනයට 18 දෙනකුගෙන් සමන්විත ඝාතන කණ්ඩායමක් හවුල් වුණු බව සිදු කළ පරීක්ෂණවලදී තුර්කිය සහ සෞදිය අනාවරණය කර ගෙන තිබේ.

එම 18 දෙනා සෞදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර, ඔවුන්ගෙන් හත් දෙනකු පසුගිය දා රියාද් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදී ඔවුන්ට මරණ දඬුවම ලබා දීමට පියවර ගැණින. කශොග්ජී ඝාතනය සිදුවූයේ සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ගේ අණ පරිදි යැයි චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සල්මාන් කුමරු තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

කටාර් රාජ්‍යය සෞදියේ අසල්වැසියාය. පසුගිය වසරේ ජූනි මාසයේ සිට කටාර් රාජ්‍යය සහ සෞදිය අතර අර්බුදයක් පවතී. සෞදිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඊජිප්තුව සහ බහරේනය සමඟ එක් වී, කටාර් රාජ්‍යයට සම්බාධක පනවා හුදෙකලා කර තිබේ.

සෞදිය මෙසේ කටාර් රාජ්‍යය සමඟ විරසකයක් ඇති කර ගත්තේ කටාරය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා නගමිණි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS