තෙහෙරානයේ දිගටම විරෝධතා



ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රමුඛ ඉරාන රජයට එරෙහි විරෝධතා  පැවැත්විණි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ඉරාන රජය කැරැලි මර්දන පොලිසිය යෙදවිණි. ඉරාන රජයට පක්ෂපාතී, සන්නද්ධ පිරිස් විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බව ද වාර්තා විය. විරෝධතාකරුවන් වෙඩි ප්‍රහාරයට ලක් වෙද්දී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාන රජයට අනතුරු ඇඟවූයේ, ‘විරෝධතාකරුවන්ට වෙඩි තැබුවොත් බලාගෙනයි’ පවසමිනි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රමුඛ ඉරාන රජයට එරෙහි විරෝධතා ආරෙම්භ වූයේ පසුගිය 11 වැනිදා සිටය. ඒ, යුක්රේන මගී ගුවන් යානය, ඉරානයේ දී කඩා වැටුණේ ඉරාන හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යැයි තහවුරු වීමත් සමඟය.

පුද්ගලයන් 176 දෙනකුට මරු කැඳවමින් යුක්රේන ජාතික ගුවන් සේවයට අයත් පීඑස් 752 අංක දරණ බෝයිං 737 මගී යානය කඩා වැටුණේ පසුගිය 8 වැනිදා, ඉරානයේ තෙහෙරාන් අගනුවර, ‘ඉමාම් කොමේනී’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තු කීපයක් යද්දීය. යානය යුක්රේනයේ කීව් නුවර බලා පියාසර කිරීමට ගුවන්ගත වී තිබුණි.

යුක්රේන ගුවන් සේවයට අයත් එම ගුවන් යානය ගුවන්ගත වෙද්දී, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනීගේ උපදෙස් පරිදි ඉරාන හමුදාව, අසල්වැසි ඉරාකයේ, ඇමෙරිකන් හමුදා සොල්දාදුවන් රැඳී සිටින කඳවුරු දෙකකට බලැස්ටික මිසයිල යොදා ගනිමින් පහර දෙන්න විය. ඒ, පසුගිය 3 වැනිදා ඇමෙරිකාව පහරදී, ඉරාන හමුදා නායක කසීම් සුලෙයිමානී ඝාතනය කිරීමේ සිදුවීමට පළිගැනීමක් ලෙසය.

යුක්රේන ගුවන් යානයට මිසයි ප්‍රහාරය එල්ල වූයේ ‘අත්වැරදීමකින්’ යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 11 වැනිදාය. එය අත්වැරදීමක් වුවත්, සාමව දිය හැකි ආකාරයේ අත්වැරදීමක් නොවන බව ද ඉරාන ජනපතිවරයා පැවැසීය.

මේ අතර, ඉරාන හමුදා ප්‍රධානීන්, ඉරාන ජනාධිපති ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨයෝ මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ හමුවක් පැවැත්වූහ. එහිදී ඉරාන ප්‍රධානීන් පවසා ඇත්තේ යුක්රේන ගුවන් යානයේ සිට මියගිය පිරිස අතරට තමන්ට ද එක් වෙන්න තිබුණා නම් හොඳයි කියාය. එම සිදුවීමෙන්, ඉරාන විප්ලවීය හමුදාවට ලැබුණු අපකීර්තිය පිළිබඳ ඉරාන හමුදා ප්‍රධානීන් ඉරාන උත්තරීතර නායකයාට ද පවසා ඇත.

යානය කඩා වැටුණු අවස්ථාවේදී, ඊට හේතුව වූයේ මිසයිල ප්‍රහාරයක් යැයි ඉරාන රජය පිළිනොගත්තේය. යානයේ කැනඩා ඉරාන මගීන් හැට දෙනෙක් සිටියහ. කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ දිගින් දිගටම කියා සිටියේ යානය කඩා වැටීම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් අවශ්‍ය බවය. යානය කඩා වැටුණේ මිසයිල ප්‍රහාරයකින් යැයි තමන්ට බුද්ධි තොරතුරු ලැබුණු බවත්, එය අත්වැරදීමකින් සිදුවුණු බවත් අගමැති ටෘඩෝ 9 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

ගුවන් යානය කඩා වැටීම සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායකයාටත්, ඉරාන රජයටත් විරෝධය දක්වමින් විරෝධතා ආරම්භ වූයේ ඒ අනුවය. දස දහස් ගණනක් දෙනා තෙහෙරාන් අගනුවරට රැස්වී, උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රමුඛ ඉරාන රජයට අප්‍රසාදය පළ කිරීම ඇරැඹීය. ඉරාන රජයේ මර්දනයට ලක්වුණු ඉරාන විපක්ෂ ක්‍රියාකාරීන් ද විරෝධතා සඳහා එක්වී සිටින බව වාර්තා වේ. ඉරාන රජය චෝදනා කරන්නේ මෙම පිරිස් උසිගන්වන්නේ ඇමෙරිකාව කියාය.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS