තෙවැනි වරටත් ඊශ්‍රායලයේ මහ මැතිවරණයක්



වසරක කාලයක් ඇතුළත තෙවැනි වරටත් ඊශ්‍රායලයේ මහ මැතිවරණයක් අද (2) පැවැත්විණි.

මිලියන 6.3 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, ඡන්දය ප්‍රකාශ කිරීම උදෑසන ආරම්භ වී රාත්‍රී 10 ට අවසන් විය. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම හෙට (3) සිදුවනු ඇත.

පසුගිය වසරේ පැවැති මහ මැතිවරණ දෙකෙන් ප්‍රධාන අපේකෂකයන් දෙදෙනා සහ ඔවුන්ගේ ප්‍රධාන පක්ෂ දෙකට බහුතර බලයක් දිනා ගැනීමට හැකිවූයේ නැත. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ ගන්නා අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ ඔහුගේ ප්‍රතිවාදියා හිටපු හමුදා ප්‍රධානියකු ද වන බෙනී ගෑන්ට්ස් ය.

බහුතර බලයක් නොලැබුණු බැවින්, 70 හැවිරිදි, අගමැති නෙදන්යාහු ප්‍රමුඛ ඔහුගේ දක්ෂිණාංශික ලිකුඞ් පක්ෂය පසුගිය මැතිවරණ දෙකේදීම වෙනත් කුඩා පක්ෂ සමඟ සන්ධානගත වෙමින් රජයක් පිහිටුවීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.

තෙවැනි වරට යළිත් මහ මැතිවරණයකට යෑමට ඊශ්‍රායලයට සිදුවූයේ ඒ අනුවය. ඊශ්‍රායලයේ දීර්ඝ කාලයක් අගමැති ධුරයේ සිටින නායකයා වන්නේ බෙන්ජමින් නෙදන්යාහු ය.

ටෙල් අවීව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS