තෙවැනි රැල්ලට ඉරානය සූදානම්



තෙවැනි කොරෝනා රැල්ලට මුහුණ දීමට සූදානම් වෙන්නැයි ඉරාන සෞඛ්‍ය අංශ එරට වැසියන්ට දන්වා ඇත. මැදපෙරදිග කලාපයේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේත් මරණ වාර්තා වන්නේත් ඉරානයෙනි.

ගතවුණු පැය 24 ඇතුළත ඉරානයෙන් වාර්තා වූ මරණ ගණන 175 කි. හමුවුණු ආසාදිතයන් ගණන 3,521 කි. ඒ අනුව, ඉරානයේ සමස්ත ආසාදිතයන් ගණන 4,36,319 කි. ඉරානයේ සමස්ත මරණ ගණන 25,015 කි. ගතවුණු දින 30 ඇතුළත වාර්තා වූ නව ආසාදිතයන් ගණන 80,000 ඉක්මවූ අතර මරණ 5,000 ඉක්මවීය.

ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශ ප්‍රකාශිකා සීමා ලාරී මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, පළමු සහ දෙවැනි කොරෝනා රැල්ලට වඩා තෙවැනි කොරෝනා රැල්ල බිහිසුණු ස්වරූපයක් ගැනීමට ඉඩ ඇති බවය.

ඉරානයේ පළමු කොරෝනා රැල්ල උච්ඡත්වයට පත් වූයේ අප්‍රේල් මාසයේය. පසුගිය ජූනි ජූලි මාසවල කොරෝනා ආසාදිතයන් අඩු වී ගිය අතර අගෝස්තු සැප්තැම්බර් වෙද්දී යළි ආසාදිතයන් වැඩි වීමට පටන් ගත්තේය.

ඉරානය ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට මුහුණ දෙන්නේ ඇමෙරිකානු සම්බාධක මැදය. ප්‍රමාණවත් සෞඛ්‍ය සහ වෛද්‍ය පහසුකම්, ඖෂධ සහ වෙන්ටිලේටර් ස්වසන යන්ත්‍ර ඉරානයේ නොමැති බව පැවැසෙයි.

පසුගිය දා ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානයට පනවා පසුව ඉවත් කර තිබුණු සම්බාධක පවා යළි පැනැවීමට පියවර ගත්තේය. ඒ, එසේ කිරීම නීතිවිරෝධී යැයි මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය පවසද්දීය.

තෙවැනි කොරෝනා රැල්ලක් මතුවුවහොත්, රට ලොක්ඩවුන් නොකර, සෞඛ්‍ය අංශ ලබාදෙන මාර්ගෝපදේශ අනුව, තහංචි පනවා වයිරසය යළි පාලනය කිරීමට පියවර ගන්නවා යැයි ඉරාන රජය පවසා ඇත. ඉරානයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, බලධාරීන් ඇතුළු බොහෝ දෙනකු වයිරස ආසාදිතයන් අතර සිටින බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS