තුර්කි ජනපතිට ට්‍රම්ප්ගෙන් ලිපියක්



‘මුරණ්ඩු වී මෝඩයකු වෙන්න එපා’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට තර්ජනාත්මක ලිපියක් යවමින් පවසා ඇත.

ඇමෙරිකන් ජනපති මෙම ‘තර්ජනාත්මක ලිපිය’ තුර්කි ජනපතිට යවා ඇත්තේ, ඇමෙරිකාව තුර්කියට පැනැවූ සම්බාධකවලට බියක් නොදක්වන බවත්, ඒ ගැන කිසිදු තැකීමක් නොකරන බවත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පැවැසීමත් සමඟය.

ඇමෙරිකාවත් තුර්කියත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ උතුරුදිග සිරියාවේ තුර්කි දේශසීමාවට සමීපව ජීවත් වන කුර්දිවරුන් සහ කුර්දි සටන්කාමීන් මුල්කොට ගනිමිනි.

සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කිරීමේදී ඇමෙරිකාව සටන් කළේ කුර්දි බෙදුම්වාදීන් සමඟ අත්වැල් බැඳ ගනිමිනි. තුර්කිය ද අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදුණි. ඒ, සිරියානු රජයට විරෝධය දක්වන විපක්ෂ සන්නද්ධ ක්‍රියාකාරීන් සමඟ එක් වෙමිනි.

සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමෙන් පසු කුර්දිවැසියන්ගේ ආරක්ෂාවටත්, කුර්දි සටන්කාමීන්ගේ සහායටත් සිටි ඇමෙරිකන් සොල්දාදුවන්ගෙන් කොටසක් ආපසු ගෙන්වා ගැනීමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කළේය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS