තුර්කියට සම්බාධක දාන්න ඇමෙරිකාව සැරැසෙයි



තුර්කියට සම්බාධක පැනවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. ඒ, උතුරුදිග සිරියාවේ කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් තුර්කි රජය එල්ල කරන ප්‍රහාරවලට විරෝධය දැක්වීමක් ලෙසය.

තුර්කියට සම්බාධක පැනැවීමේ යෝජනාව ගෙන ඒමට සැරැසෙන්නේ ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්‍රස් මණ්ඩලය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන්ය.

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ රිපබ්ලිකන්වරුන් සතුව නොව, ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතුවය. එහෙයින් සම්බාධක පැනැවීමේ යෝජනායට ඩිමොක්‍රටික්වරුන්ගේ සහාය රිපබ්ලිකන්වරුන්ට අවශ්‍ය වෙයි.

සිරියානු අර්බුදයේ දී ඇමෙරිකාවේ සහාය හිමිවූයේ කුර්දිවරුන් සහ කුර්දිවරුන් නියෝජනය කරන උතුරුදිග සිරියාවේ කුර්දි සටන්කාමීන්ටය. උතුරුදිග සිරියාවෙන් ඇමෙරිකන් හමුදා ගෙන්වා ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය දා කටයුතු කළේය.

ඒ අනුව, තුර්කිය කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර ආරම්භ කළේය. තුර්කිය, මෙම කුර්දි සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස සලකයි. සිරියානු අර්බුදයේ දී අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී ඇමෙරිකාවට සහාය දුන්නේ කුර්දි සටන්කාමීන්ය. ඇමෙරිකන් සොල්දාදුවන් පිටවී යෑමෙන් පසු කුර්දිවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය.

කුර්දිවරුන් චෝදනා කර ඇත්තේ ඇමෙරිකාව තමන්ට ද්‍රෝහි වුණු බවය. මේ අතර, කුර්දිවරුන් අමාරුවේ දැමීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමෙරිකානුවන්ගෙන් ද විරෝධයක් එල්ල වී ඇත. තුර්කිය කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් පහරදීම සෙසු බටහිර රටවල ද දැඩි දෝෂදර්ශණයට හේතුවක් වී ඇතැයි පැවැසෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS