තලේබාන් සාමකතා දෝහා කටාර්හිදී



දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින ගැටුම් අවසන් කිරීමේ අරමුණි, ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය අතර සාමකතා දෝහා කටාර්හිදී ආරම්භ විය.

සාමකතා වෙනුවෙන් ඇරඹුණු එම සාම සමුළුවට සඳහා තලේබාන් සංවිධානයේ සහ ඇෆ්ගන් රජයේ නියෝජිතයෝ පැමිණ සිටියහ.  දෙපාර්ශ්වයේ නියෝජිතයන් සාම කතා පැවැත්වීමට මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

තලේබාන් සංවිධානයේ සහ ඇෆ්ගන් රජයේ නියෝජිතයන්ට අමතරව, නේටෝ සාමාජිකයන් වන ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, ප්‍රංශය ආදී රටවලත්, ඇෆ්ගනිස්තානයයේ සමීපතමයන් වන පාකිස්තානයේ සහ ඉන්දියාවේ නියෝජිතයන් ද රුසියාවේ සහ චීනයේ නියෝජිතයන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් ද සමුළුවට සහභාගී විය. ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසය හේතුවෙන් එම නියෝජිතයන් සමුළුවට සම්බන්ධ වූයේ වීඩියෝ පණිවුඩ හුවමාරු තාක්ෂණයෙනි.

ස්ථිර සටන් විරාසයක් ඇති කිරීම, කාන්තාවන්ගේත් සුළු ජාතිකයන්ගේ අයිතීන් තහවුරු කිරීම, දස දහස් ගණනක් තලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් රජයට පක්ෂධපාතී සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
සාමකතා සම්බන්ධයෙන් මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයයි. ඒ, ඇමෙරිකාවේ උපදෙස් අනුවය. දෝහා කටාර් හි තලේබාන් සංවිධානයේ ‘සාම කාර්යලය’ පිහිටා තිබේ. මෙම සාම කාර්යාලය පිහිටුවූයේ මීට වසර කීපයකට පෙරය.

සාමකතා පැවැත්වෙන සාම සමුළුව පැවැත්වෙන්නේ මෙම සාම කාර්යාලය හරහාය. තලේබාන් සංවිධානයේ දේශපාලනික අංශය මෙම සාම කාර්යාලය පවත්වාගෙන යයි.
සාම සමුළුව ආරම්භ කරමින්, කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහාම් අල් තානී ඉල්ලීමක් කළේ සියලු පාර්ශ්ව විවෘත මනසකින් යුතුව සාම කතාවල නියැලෙන ලෙසය. තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය ඇෆ්ගන් සිවිල් වැසියන්ගේ යහපත උදෙසා කටයුතු කළ යුතු යැයි කටාර් විදේශ ඇමැතිවරයා අවධාරණය කළේය.

ලබන නොවැම්බරයේ යළි ජනපති ධුරය වෙනුවෙන් තරඟවදින ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඇෆ්ගන් තලේබාන් අර්බුදය අවසන් කිරීමට තමන් පියවර ගන්නා බවය. කිසි දිනෙක ඇමෙරිකන් සොල්දාදුවන් විදෙස් සංග්‍රාමයකට සම්බන්ධ නොකරන බවට ද ජනාධිපති ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබේ.

ඇමෙරිකාව වෙනුවෙන් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජනය කරමින් මෙම ඓතිහාසික සමුළුවට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සහභාගී විය. ‘ඇමෙරිකාව මඟ සකස් කර දුන්නා පමණයි. ඇෆ්ගන් රජය සහ තලේබාන් සංවිධානය සාමකතා සාර්ථක කර ගැනීමට වගබලා ගතයුතුයි.’ යැයි සමුළුවට සහභාගී වීමට කටාර් බලා යද්දී පොම්පේඕ මාධ්‍ය හමුවේ පැවැසුවේය.

ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරමින්, පැවැති තලේබාන් පාලනය පෙරළා දැම්මේ මීට වසර 19 කට පෙර, 2001 වසරේදීය. ඒ, 2001 සැප්තැම්බර් 11 වැනිදා, අල් කයිඩා නායක ඔසාබා බින් ලාඩන්ගේ මෙහෙයවීමෙන් අල් කයිඩා ත්‍රස්තවාදීන් ගුවන් යානා පැහැර ගනිමින් ඇමෙරිකාවට පහර දීමෙන් පසුවය.

සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු, බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ කඳුකරයේ සැඟවී සිටියේය. ඒ, තලේබාන් රජයේ සහාය ලබමිනි. ඇමෙරිකාව ප්‍රමුඛ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව එක් වී, ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අවස්ථාවේදී, තලේබාන් සංවිධානය අවි අතට ගනිමින්, විදෙස් හමුදා සමඟ සටන් කරන්න විය. ඇෆ්ගන් සංග්‍රාමය ඒ අනුව ඇරැඹිණි.

විදෙස් ආක්‍රමණයෙන් පසු, විදෙස් අනුග්‍රහය යටතේ ඇෆ්ගන් රජයක් පිහිටුවිණි. වර්තමානයේ, තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වන, අෂ්රාෆ් ඝානීගේ ඇෆ්ගන් රජය බටහිර රටවල ආධාර ලබමින් පිහිටුවනු ලැබූවකි.

දෝහාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS