ජෝ බයිඩන් නෙතන්යාහුට හලෝ කියලා



ඔබාමා පරිපාලනය සමයේ, ජෝ බයිඩන් ඇමෙරිකන් උප ජනාධිපති ලෙසකටයුතු කරද්දී,
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු හමුවුණු අවස්ථාව...
 

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමැතුවේය.

ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජෝ බයිඩන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු ඇමතූ පළමු අවස්ථාව මෙයයි.

රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ කතාබහට ලක් වූයේ ඊශ්‍රායල පලස්තීන අර්බුදය සහ ඉරාන අර්බුදයයි. ඒ අනුව, ජනපති බයිඩන් මැදපෙරදිග කලාපයේ නායකයන් අතරින් පළමුවෙන් දුරකතන ඇමතුමක් ලබා දුන් නායකයා වන්නේ නෙතන්යාහුය.

ධුරයෙන් සමුගත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු අතරේ සමීප මිත්‍රත්වයක් පැවැතිණි. ජනපති ට්‍රම්ප්, පලස්තීනුවන් කුපිත කරමින්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කළේත්, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගනිමින් ඉරානයට සම්බාධක පැනැවීමක් කළේත් අගමැති නෙතන්යාහු සමඟ පැවැති සමීප මිත්‍රත්වය නිසා යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

‘ඊශ්‍රායලය හැමදාම ඇමෙරිකාවේ සමීපතම මිතුරෙක්. ඒ මිතුදම් වෙනස් කරන්න ජනාධිපති බයිඩන් අදහස් කරන්නේ නැහැ. කෙසේ නමුත් ට්‍රම්ප් පරිපාලනය කළාක් මෙන්, පලස්තීනුවන් අමතක කරමින්, ඊශ්‍රායලයට වැඩි උනන්දුවක් දක්වන්න බයිඩන් පාලනය කටයුතු කරන්නේ නැහැ’ යැයි බයිඩන් සහ නෙතන්යාහු අතරේ පැවැති දුරකතන සංවාදය සම්බන්ධයෙන් ධවල මන්දිර ප්‍රකාශිකා ජෙන් සාකී මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS