ජාත්‍යන්තර පරීක්ෂණ සෞදියට ඕනෑ නෑ



මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හෝ ජාත්‍යන්තරයෙන් පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි සෞදි විදේශ කටයුතු ඇමැති අබ්දෙල් අල් ජුබීර් පවසයි.

කශොග්ජී සම්බන්ධයෙන් සෞදිය පරීක්ෂණ පැවැත්වූ බවත්, නඩු විභාගයකින් පසු අදාල පුද්ගලයන්ට දඬුවම් ලබා දුන් බවත් සෞදි විදේශ කටයුතු ඇමැති අබ්දෙල් අල් ජුබීර් වැඩි දුරටත් කියා සිටී.

සෞදි විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ ‘ෆේස් ද නේෂන්’ නමැති දේශපාලන වැඩසටහනට එක් වී අදහස් දක්වමිනි. මේ වනවිට ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පරීක්ෂණ කටයුතු සඳහා සෞදියට ඇතුළු වෙන්න අවසර දෙන්නැයි එම පරීක්ෂණ කණ්ඩායම සෞදි රජයෙන් ඉල්ලා ඇති නමුත් සෞදි රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් පවසා නැත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS