කොරෝනා මැද හජ් වන්දනාව ඇරැඹේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස තර්ජන මැද අද (29) හජ් වන්දනා සමය ඇරැඹිණි. ලොව විශාලතම ජනතා ඒකරාශීවීමක් ලෙස, හජ් වන්දනාව සඳහා සෞදියේ මක්කම ශුද්ධ නගරයට එක්රොක් වන බැතිමතුන් සැලකෙයි.

සෑම වසරකම, හජ් වන්දනාවට, මක්කම නගරයට මිලියන ගණනක් ඉස්ලාමීය බැතිමතුන් සහභාගී වන නමුත්, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මෙවර සහභාගී වීමට අවසර හිමිවූයේ තෝරා ගත් බැතිමතුන් 10,000 ක් පමණි.

විදේශවලින් බැතිමතුන් ගෙන්වා නොගැනීමට සෞදිය තීරණය කර තිබේ. හජ් වන්දනාව විදෙස් ඉස්ලාමීය බැතිමතුන්ට තහනම් කෙරෙන පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි. පසුගිය 2019 වසරේ පමණක් හජ් වන්දනාවට සහභාගී වූ දෙස් විදෙස් ඉස්ලාමීය බැතිමතුන් ගණන මිලියන 2.5 කි.

විදේශවලින් බැතිමතුන් ගෙන්වා නොගන්නා නමුත්, සෞදියේ සිටින, විදෙස් මුස්ලිම් බැතිමතුන් කිහිප දෙනකුට හජ් වන්දනාව සඳහා අවස්ථාවක් හිමිවෙන බව හජ් වන්දනා කටයුතු සම්බන්ධ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

රියාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS