කොරෝනා ආසාදිතයන් හමුවෙලා



කුවෙට් සහ බහ්රේන් යන ගල්ෆ් රටවලින් ද කොරෝනා ආසාදිතයන් හමු වී ඇතැයි දෙරට සෞඛ්‍ය අමාත්‍යවරු නිවේදනය කළහ.

කොරෝනා ආසාදිතයන් සියලු දෙනා පැමිණ ඇත්තේ ඉරානයේ සිට යැයි ද ඔවුහු ප්‍රකාශ කළහ.

කුවෙට් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයන් තිදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වූ අතර බහ්රේනයෙන් කොරෝනා ආසාදිතයකු වාර්තා වූ බව ද ඔවුහු කීහ.

‘‘ඉරානයෙන් පැමිණෙන සියලු දෙනා පරීක්ෂාවට ලක් කරනවා. ඉරානයේ මෂාද් ශුද්ධ වූ නගරයෙන් පැමිණි තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වුණා’’ යැයි කුවෙට් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කොරෝනා ආසාදනය වී ඇත්තේ 53 හැවිරිදි කුවෙට් ජාතිකයකුට, 61 හැවිරිදි සෞදි පුරවැසියකුට සහ 21 හැවිරිදි රටක් නොමැති අරාබි වැසියකුට යැයි ද එම නිවේදනයේ දැක්විණි.

‘‘ඔවුන් සියලු දෙනාම සමීප නිරීක්ෂණයට ලක් කරනවා’’ යැයි කුවෙට් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉරානයෙන් පැමිණෙන නෞකාවලට කුවෙට් සීමාවට පැමිණීම තහනම් කිරීමටත් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටත් කුවෙට් රාජ්‍ය පියවර ගෙන තිබේ.

තම රටේ පුරවැසියන් නොවන අයට රටට ඇතුළුවීම තහනම් කිරීමට ද කුවෙට් රාජ්‍ය පියවර ගෙන ඇත.

කුවෙට් රාජ්‍යයේ ජනගහනයෙන් තුනෙන් එකක් වන මිලියන 1.4 ක් ෂියා මුස්ලිම්වරුය. ඔවුහු නිරන්තරයෙන් ෂියා ආගමික ස්ථාන වැඳ පුදාගැනීම සඳහා ඉරානයට ගමන් කරති. ඉරාන සේවකයෝ 50,000ක් ද කුවෙට් රාජ්‍යයේ සේවය කරති.

බහ්රේන ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් ෂියා මුස්ලිම්වරු වන අතර ඔවුහු ද නිරන්තරයෙන් ඉරානයට ගමන් කරති.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ කුවෙට් රාජ්‍ය සමඟ තිබෙන දේශසීමාව වසා දැමීමට ඉරාකය පියවර ගත්තේය.

අසල්වැසි එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද කොරෝනා ආසාදිතයන් 13 දෙනකු පිළිබඳව වාර්තා වී අතර ඔවුහු සියලුදෙනාම විදේශිකයෝය.

මෙතෙක් කොරෝනා ආසාදිතයන් වාර්තා වී නොමැති ගල්ෆ් රටවල් වනුයේ සෞදි අරාබිය, ඕමානය සහ කටාර් රාජ්‍යයි. එම රටවල් ද චීනයට ගමන් කිරීම හා එරටින් ගුවන් යානා පැමිණීම තාවකාලිකව නවතා දමා ඇත.

ඩුබායිහිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS