කිසිම අවස්ථාවක ඇමෙරිකානුවන්ට විරුද්ධ නෑ



‘ඇමෙරිකාවට මරණය’ යැයි කියමින් තමන් හැමවිටම විරෝධය පළ කරන්නේ ඇමෙරිකානු ජනාධිපතිවරුන්ට පමණක් බවත්, තමන් කිසිදු අවස්ථාවක ඇමෙරිකන් වැසියන්ට වෛර කරමින්, ඔවුන්ට තර්ජනය නොකරන බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කොමේනී අවධාරණය කරයි.

ඉරාන උත්තරීතර නායකයා පසුගිය දා ද ‘ඇමෙරිකාවට මරණය’ යනුවෙන් සිය විරෝධය පළ කළේය. ඒ, ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන බවටත් උඩගෙඩි දෙන බවටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය චෝදනා කරමින්, ඉරානයට සම්බාධක පනවා ඇති නිසාය. එම සම්බාධක ඉරාන ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමක් කර ඇතැයි ද පැවැසෙයි.

ඉරානය සැමවටිම ඇමෙරිකාවට විරෝධය පළ කරද්දී, ‘ඇමෙරිකාවට මරණය’ යනුවෙන් විරෝධය දක්වයි. පසුගිය සිකුරාදා දිනයේ ද එසේ විරෝධය දැක්වීමට උත්තරීතර නායකයා කටයුතු කළේය. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඔහුගේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනව බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

‘ඇමෙරිකාවට මරණය’ යනුවෙන් උත්තරීතර නායකයා පවසා ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕට විරෝධය දක්වමින් බව වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS