ඊශ්‍රායල වැසියන්ට එන්නත ලබන සතියේ



ඊශ්‍රායල වැසියන්ට එලැඹෙන නත්තල් සතියේ, ‘ෆයිසර්’ එන්නත ලබා දීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහ ඇමෙරිකාව අතර ඉතා සමීප සබඳතා පවතී. එහෙයින් ඔහු, සෘජුවම ඇමෙරිකන් ‘ෆයිසර්’ සමාගම සමඟ සාකච්ඡා පවත්වා එන්නත් මිලියන 8 ක් ලබා ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමක් ඇතිකරගත් බව ද වාර්තා වේ.

ඊශ්‍රායල වැසියන්ට එන්නත ලැබුණ ද ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටින පලස්තීන පාලන ප්‍රදේශවල මිලියන ගණනක් පලස්තීනුවන්ට කිසිදු එන්නතක් හිමි නොවනු ඇතැයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සිවිල් සංවිධාන පෙන්වා දෙයි.

ඊශ්‍රායල බලහත්කාරයෙන්, පලස්තීනුවන් වාසය කරන බටහිර ඉවුර, ගසා තීරය සහ නැගෙනහිර ජෙරුසලමට අයත් පළාත් අත්පත් කරගත්තේ 1967 වසරේ මැදපෙරදිග යුද්ධයේදීය.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය හෙවත් මැද පෙරදිග අර්බුදය උත්සන්න වී ඇත්තේ ද මේ නිසාය. පලස්තීන පාලන අධිකාරිය 1990 දශකයේ සිට, බටහිර ඉවුරේ පාලන කටයුතු සිදුකරයි. ඒ, ඊශ්‍රායල රජය සමඟ ඇති කරගත් සාම ගිවිසුමකට අනුවය.

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම සමඟ හවුලේ නිපදවූ එන්නත සෙල්සියස් අංශක රින 70 ක උෂ්ණත්වයක් යටතේ ගබඩා කළ යුතු වෙයි.

ඒ සඳහා ජංගම ශීතකරණ මේ වනවිටත් සූදානම් කර ඇතැයි ඊශ්‍රායල සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත. ලබන සතියේ සිට දිනකට 60,000 කට එන්නත් ලබා දීමට නියමිත බව ද ඊශ්‍රායල රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජෙරුසලමේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS