ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට හැකියාවක් නෑ



අරාබි සාම ක්‍රියාවලියට සමාන ගිවිසුමකට එළැඹුණහොත් දශක ගණනාවක් මුළුල්ලේ පවතින ඊශ්‍රායල-පලස්තීන අර්බුදය විසඳීමට හැකියාවක් නැතැයි ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජාරෙඞ් කුෂ්නර් පැවැසීය.

අල් ජසීරා පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාරෙඞ් කුෂ්නර් කීය. ජාරෙඞ් කුෂ්නර් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බෑණනුවන් සහ උපදේශක ද වේ.

ඇමෙරිකාවේ අනුග්‍රහය යටතේ බහ්රේනයේ, මැනමා අගනුවර පැවැත්වීමට වැඩමුළුවකට සහභාගී පෙර ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවට එක්වීය. බහ්රේනයේ පැවැත්වෙන මෙම වැඩමුළුවට ඇමෙරිකාවේ, ඊශ්‍රායලයේ සහ තවත් අරාබි රටවල් කිහිපයක ව්‍යාපාරිකයන් රැසක් සහභාගී වීමට නියමිතය. ප්‍රමාද වෙමින් තිබෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ මැද පෙරදිග සාම සැලැස්මේ ආර්ථික කොටස සම්බන්ධයෙන් මෙම වැඩමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇත.

“කවදාහරි ගිවිසුමක් තිබුණොත් හෝ තියෙනවා නම් අපි දෙයක් තේරුම් ගන්න ඕනේ. ඒ ගිවිසුම අරාබි සාම ගිවිසුමට සමාන වෙන්න බැහැ” යැයි කුෂ්නර් කීය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැද පෙරදිග සාම ක්‍රියාවලියේ වගකීම බාර දී ඇත්තේ ද ජාරෙඞ් කුෂ්නර්ට ය.
“අලුතින් ගිවිසුමක් ඇති කරගන්නවා නම් ඒ ගිවිසුම අරාබි සාම ගිවිසුමත් ඊශ්‍රායලයේ තත්ත්වයත් අතර මැද එකක් වෙන්න ඕනේ” යැයි ද හෙතෙම කීවේය.

රටවල් දෙකක විසඳුම සම්බන්ධයෙන් විමසූ විට අවසන් විසඳුම එය නම් මීට බොහෝම කලින් එසේ කරන්නට හැකියාව තිබූ බව හෙතෙම කීය.

අල්ලා ගත් බටහිර ඉවුර අයිති කරගැනීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි ඊශ්‍රායලයේ ඇමෙරිකානු තානාපති ඬේවිඞ් ෆ්‍රීඞ්මන් පැවැසීය. ඒ සම්බන්ධයෙන් ද මෙම සම්මුඛ සාකච්ඡාවේදී ජාරෙඞ් කුෂ්නර්ගෙන් විමසීය.
“අරාබි සාම ගිවිසුම විශිෂ්ට උත්සහායක්. රටවල් දෙකක් සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති වෙන්න තිබුණා නම්, ඒක වෙලා දැන් ගොඩක් කල්” යැයි හෙතෙම කීවේය.

අරාබි සාම ක්‍රියාවලියෙන් රටවල් දෙකක විසඳුම අනුමත කරන ලදි. අරාබි සාම ක්‍රියාවලිය යෝජනා කරන ලද්දේ සෞදි අරාබිය වන අතර ඒ 2002 වසරේදීය. එම ක්‍රියාවලියෙන් ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත් කරගැනීමටත් 1967 වසරේ පැවැති යුද්ධයෙන් පසු ඊශ්‍රායලය අත්පත් කරගත් ප්‍රදේශ නැවත ලබාදීමටත් යෝජනා කෙරුණි. එම යුද්ධයෙන් පසු ගෝලාන් කඳුකරය, නැගෙනහිර ජෙරුසලෙම සහ බටහිර ඉවුර ඊශ්‍රායලය යටතට පත්විය.

අරාබි ලීගය වසර ගණනාවක් තිස්සේ එම ගිවිසුම අනුමත කළ කිසිදු දිනෙක ක්‍රියාවට නැංවූයේ නැති අතර ඊශ්‍රායලය දිගින් දිගටම භූමිය අත්පත් කරගත්තේය. එමෙන්ම ඊශ්‍රායලය ජනාවාස ඉදි කරමින් බටහිර ඉවුරේ ඔවුන්ගේ පාලනය ව්‍යාප්ත කළේය.

හර්ෂණ තුෂාර සිල්වා
අල් ජසීරා ඇසුරනි  


RECOMMEND POSTS