ඊශ්‍රායල ඡන්දයේ ජයග්‍රාහකයෝ නෑ



ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිවකුටත් ජයග්‍රහණය හිමිකර ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වූයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙදන්යාහුට සහ ප්‍රතිවාදී අපේක්ෂක විශ්‍රාමික හමුදා ජනරාල් බෙනී ග්‍රෑන්ට්ස්ය.

අගමැති නෙදන්යාහු පස්වැනි ධුර කාලය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් විය. නෙදන්යාහු මෙහෙයවන්නේ දක්ෂිණාංශික ලිකුද් පක්ෂයයි. ජනරාල් බෙනී ග්‍රෑන්ට්ස් මධ්‍යස්ථ මතධාරියෙකි. ඔහු නිල් සහ සුදු සන්ධානයට නායකත්වය දෙයි.

ආසන 120 කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘නෙසට්’ සභාව යනුවෙනි. බහුතර බලය සඳහා ආසන 61 ක් දිනා ගැනීම කළ යුතුව ඇත. කෙසේ නමුත් අවසන් ප්‍රතිඵල අනුව නිල් සහ සුදු සන්ධානයට ආසන 33 ක් හිමිවිය. නෙදන්යාහුගේ ‘ලිකුද්’ පක්ෂයට දිනා ගැනීමට හැකිවී ඇත්තේ ආසන 32 කි.

නෙදන්යාහු සහ ග්‍රෑන්ට්ස් නව රජයක් පිහිටුවීම සිදු කරනු ඇත්තේ තවත් පක්ෂ හවුල් කර ගනිමිනි. ඒ සඳහා මේ වනවිටත් සාකච්ඡා පැවැත්වෙයි. මෙවර මැතිවරණයේ තුන්වැනි බලවේගය අවිග්දෝර් ලයිබර්මන්ගේ ‘ඉස්රායල්’ පක්ෂයයි. ලයිබර්මන්ගේ පක්ෂය ‘රජුන් තනන්නා’ බවට පත් වනු ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ටෙල් අවීව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS