ඊශ්‍රායල ගුවන් යානාවලට සෞදියෙන් අවසර



සෞදි ගුවන් කලාපය භාවිතයට ගැනීමට ඊශ්‍රායල ගුවන් යානාවලට සෞදි රජයේ අවසරය හිමිවී ඇතැයි විදෙස් පුවත් සේවා ඊයේ (1) වාර්තා කළේය.

මේ වනවිට ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය නාත්ත්‍රික සබඳතා වර්ධනය වී ඇත. දෙරට අතර ඉදිරියේ දී ගුවන් ගමන් ද ආරම්භ වීමට නියමිතය.

ඊශ්‍රායල ගුවන් යානාවලට එමිරේට්ස් රාජ්‍යයට යෑමට සෞදි ගුවන් කලාපය හරහා යෑම පහසුවක් බැවින්, ඊශ්‍රායලය ඇමෙරිකාව හරහා සෞදි රජයෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර තිබේ. සෞදි රජයෙන් ඊට යහපත් ප්‍රතිචාර ඒ අනුව හිමිවිය.

ඊශ්‍රායලය සහ ගල්ෆ් අරාබි රටවල් මිතුරු කිරීම සහ ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අරමුණකි. ඒ සම්බන්ධයෙන් ඔහු විශේෂ නියෝජිත කණ්ඩායමක් පත් කර තිබේ. ඊට නායකත්වය දෙන්නේ ට්‍රම්ප්ගේ බෑණා වන ජෙරාඞ් කුෂ්නර්ය. මොහු ට්‍රම්ප්ගේ උපදේශකවරයකු ලෙස කටයුතු කරයි.

කුෂ්නර් ඇතුළු එම නියෝජිත කණ්ඩායම ඊයේ (1) සෞදියට ගිය අතර, කුෂ්නර් සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් අතර විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී ඊශ්‍රායලය, සෞදි ගුවන් කලාපය හරහා යෑමට කළ ඉල්ලීම, කුෂ්නර් විසින් සල්මාන් කුමරුන්ට ඉදිරිපත් කරනු ලැබුණි. ඊට යහපත් ප්‍රතිචාර හිමිවූයේ ඒ අනුවය.

රියාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS