ඊශ්‍රායලය මොරොක්කෝව මිතුදම් තරකර ගනී



වසර 20 කට පසු ඊශ්‍රායලය සහ මොරොක්කෝව අතර යහපත් සබඳතා ආරම්භ විය. ඊශ්‍රායලය සහ මොරොක්කෝව අතර යහපත් සබඳතා ආරම්භ වූයේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙනි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, මොරොක්කෝවේ හයවැනි මොහොමඩ් රජු අතරේ පැවැත්වුණු සාකච්ඡා සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගී විය. සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. සාකච්ඡා ආරම්භ වූයේ ඊශ්‍රායල සහ මොරොක්කෝ විදේශ අමත්‍යාංශ හරහාය.

මිතුදම් වර්ධනය කර ගනිමින්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමට අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහ මොරොක්කෝ රජු කැමැත්ත පළ කළ අවස්ථාවේදී එම පුවත පළමුවෙන් ලොවට අනාවරණය කළේ ට්‍රම්ප්ය. ඒ ට්විටර් පණිවුඩයක් මගිනි.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය හෙවත් මැද පෙරදිග අර්බුදය හේතුවෙන් කලාපීය මුස්ලිම් රටවල් සහ යුදෙව් ඊශ්‍රායලය අතර මිතුදම් බිඳ වැටී ඇත. ඒ, පලස්තීනයේ මුස්ලිම් වැසියන්ට සිදුවන අසාධාරණය හේතුවෙනි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, මේ වනවිට බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද ඊශ්‍රායලය සමඟ මිතුරු කර ඇති අතර, මේ වනවිට එම රටවල් අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී අවසන්ය. මෙය පලස්තීනුවන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ. සෞදි අරාබිය ද ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේ උපදෙස් අනුව, ඊශ්‍රායලය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

ඊශ්‍රායලය සහ මොරොක්කෝව අතර රාජ්‍ය තාන්ත්‍රිත කටයුතු මුළුමනින්ම අඩපණ වූයේ 2000 වසරේ දී, ඒ, ඊශ්‍රායලයට පලස්තීනයෙන් එල්ල වූ විරෝධතා හේතුවෙනි. එම අවස්ථාවේදී මොරොක්කෝව පලස්තීනයට සහාය දක්වමින්, ඊශ්‍රායල තානාපතිවරයාට රටින් පිට වෙන්නැයි නියෝග කළේය.

බිඳ වැටුණු එම සබඳතා යළි වර්ධනය වීමත් සමඟ මොරොක්කෝවේ රබාත් නුවර ඊශ්‍රායල තානාපති කාර්යාලයත්, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර මොරෝකකෝ තානාපති කාර්යාලයත් විවෘත කෙරේ. දෙරට අතර වෙ‍ෙළඳ සහ සංස්කෘතික සබඳතා යළි තර වනු ඇතැයි පැවැසෙයි. ඊට අමතරව, ලබන වසරේ සිට, ඊශ්‍රායලයත් මොරොක්කෝවත් අතර සෘජු ගුවන් ගමන් ද ආරම්භ වනු ඇතැයි පැවැසෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS