ඉරිදා පමණක් 23 ක් මැරිලා



තුර්කිය ඉකුත් බදාදා සිට ක්‍රියාත්මක කරන යුද මෙහෙයුම් හේතුවෙන් ඉරිදා දිනයේදී පමණක් උතුරුදිග සිරියාවේදී සිවිල් වැසියන් 23 දෙනකු මරුමුවට පත්වූයේ යැයි නිරීක්ෂණ සංවිධානයක් වාර්තා කළේය.

ඒ අතරම රැඳවුම් මධ්‍යස්ථානයකින් අයි.එස්. සංවිධානයේ සටන්කාමීන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පලාගොස් ඇතැයි ද වාර්තා විය.

තුර්කිය පසුගිය සතියේ බදාදා සිට සිරියාවේ උතුරු දිග සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරය. මෙම ප්‍රදේශවලින් ඇමෙරිකානු හමුදා ඉවත් කරගන්නා බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් තුර්කිය මෙම යුද මෙහෙයුම් ආරම්භ කළේය. තමන් ප්‍රහාර එල්ල කරන්නේ ත්‍රස්තවාදීන්ට බවත් මෙම ප්‍රදේශවල සිටින ත්‍රස්තවාදීන්ගෙන් තමන්ට තර්ජනයක් තිබෙන බවත් තුර්කිය පවසයි.

මෙම ප්‍රදේශවල වැඩි බලය තිබෙන්නේ කුර්දිවරුන් හා කුර්දි සටන්කාමීන් ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හමුදා හා සටන්කාමීන් සතුවයි. තුර්කිය කුර්දිවරුන් ත්‍රස්තවාදීන් ලෙස සලකයි.

තුර්කි-සිරියා දේශසීමාවේ ඇති වී තිබෙන මෙම ගැටුම් නිසා මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන රටවල් බොහෝමයක් තුර්කියට සිය අප්‍රසාදය පළ කර තිබේ. ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා හා එක්වී කුර්දි සටන්කාමීන් අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදුණු අතර ඇමෙරිකාව තමන් පාවා දුන්නේ යැයි කුර්දිවරු චෝදනා කරති.

උතුරු සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල රැඳවුම් කඳවුරු කිහිපයක් තිබෙන අතර අල්ලාගත් අයි.එස්. සටන්කාමීන් රැසක් ඒවායේ රඳවා තබා ඇත. තුර්කිය ඉරිදා එල්ල කරන ලද කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් උතුරු දිග සිරියාවේ අයින් ඉසා කඳවුරේ සිටි විදේශිකයන් 785 දෙනකු පලාගොස් ඇතැයි තුර්කි පාලනාධිකාරිය සඳහන් කළේය. එම විදේශිකයන් සියලු දෙනාම අයි.එස්. සංවිධානයට සම්බන්ධිත අය වේ.

මිඞ්ල් ඊස්ට් අයි


RECOMMEND POSTS