ඉරාන සන්නිවේදන ඇමැතිට සම්බාධක



ඉරානයේ අන්තර් ජාල සබඳතා අවහිර කළ එරට සන්නිවේදන කටයුතු පිළිබඳ ඇමැති මොහොමද් ජවාද් අසාරි ජහ්රෝමීට සම්බාධක පනවා ඔහුගේ නම අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

සම්බාධක පැනැවීම කර ඇත්තේ ඇමෙරිකන් භාණ්ඩාගාරයයි. ඉරානයේ අන්තර් ජාල සබඳතා අවහිර කිරීමට ඇමැතිවරයා පියවර ගෙන ඇත්තේ රට පුරා පැතිර යන විරෝධතා හේතුවෙන් ජනතා නොසන්සුන් වීම වැළැක්වීමේ අරමුණ ඇතිව යැයි පැවැසෙයි.

ඉරානය පුරා විරෝධතා පැතිරෙන්නේ, ඉරාන රජය හිටියැටියේ ඉන්ධන මිල වැඩි කිරීමත්, සලාක ක්‍රමයට ඉන්ධන ලබා දීමට පියවර ගැනීමත් නිසාය.

ඉරානයට මෙසේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ ඇමෙරිකන් රජය ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට විරෝධය දක්වමින් පැනැවූ සම්බාධක හේතුවෙනි. දින පහක් පුරා පැවැති විරෝධතා ප්‍රචණ්ඩකාරී විය. ආරක්ෂක අංශ සහ විරේධතාකරුවන් අතර පැවැති ගැටුම් හේතුවෙන් මියගිය ගණන 100 ක් යැයි වාර්තා විය. ඉරාන ජනාධිපති හසන් රොව්හානී චෝදනා කරන්න වූයේ විරෝධතාකරුවන් උසි ගන්වන්නේ ඇමෙරිකාව කියාය.

අන්තර් ජාල සබඳතා අවහිර කිරීම හේතුවෙන් ඉරාන වැසියන්ට ලෝකය සමඟ සම්බන්ධ වීමට නොහැකි වුණු බව පෙන්වා දෙමින් අමාත්‍යවරයාට සම්බාධක පැනැවීමක් කළ බව ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් මාධ්‍ය හමුවේ පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS