ඉරාන පාලනයේ වෙනසක් ඇමෙරිකාවට ඕනෑ නෑ



ඇමෙරිකාව කිසිම අවස්ථාවක, ඉරාන පාලනය පෙරළා දැමීමට අපේක්ෂා නොකරන බවත්, ඉරානය සමඟ යුද්ධයකට පැටළීමේ කිසිදු අදහසක් නැති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.

ඉරානය සමඟ 2015 දී ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතාවයෙන් තමන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේ එම එකඟතාව නීත්‍යාණුකූල නොවන නිසා බවත්, තමන් ඉරානය සමඟ සාකච්ඡා කර, නව එකඟතාවක් ඇති කර ගැනීමට සූදානම් බව ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

2015 න්‍යෂ්ටික එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමෙන් පසු ජනපති ට්‍රම්ප් ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීය. එපමණක් නොව, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී ට එරෙහිව ද සම්බාධක පැනැවීය.

ඉරාන විප්ලවීය හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට පවා ඇමෙරිකාව තීරණය කර ඇත. ඇමෙරිකාව විදෙස් හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ පළමු අවස්ථාව මෙයයි.

ඉරාන උත්තරීතර නායක අල් කොමේනී පමණක් නොව, ඉරාන ජනාධිපති එසන් රොව්හානී පවා අවධාරණය කර ඇත්තේ ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ යුද්ධයකට පැටලෙන්නෙ නැති බවය. කෙසේ නමුත් ඇමෙරිකාව දිගින් දිගටම සම්බාධක පනවමින්, කෙණෙහිලිකම් කරද්දී, ඇමෙරිකාව සමඟ සාකච්ඡා පවත්වන්නේ කෙසේදැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී විමසයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS