ඉරාන නැවකට ප්‍රහාරයක්



සෞදි අරාබියට ආසන්න මුහුදේ දී ඉරාන නෞකාවකට මිසයිල ප්‍රහාර එල්ල වීමත් සමඟ අද (11) තෙල් මිල ගණන් ඉහළ ගියේය.

සෞදි අරාබියේ ඇරැම්කෝ තෙල් සමාගමේ ගොඩනැගිලි සංකීර්ණයකට ප්‍රහාර එල්ල වීමෙස් පසු ඉරාන නෞකාවට මෙලෙස ප්‍රහාර එල්ල වූ අතර ඒත් සමඟම මැද පෙරදිග නැවත වරක් උණුසුම්වීමේ අවදානමක් හටගෙන තිබේ.

පසුගිය මාසයේදී ඇරැම්කෝ සමාගමට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට චෝදනා එල්ල කළ අතර ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

‘නැෂනල් ඉරානියන් ටෑන්කර්’ සමාගමට අයත් නෞකාවකට මෙලෙස ප්‍රහාර එල්ල වී තිබේ. සෞදි අරාබියට ආසන් මුහුදේදී පිපිරීම් දෙකක් සිදු වූ බවත් එය බොහෝ දුරට මිසයිල ප්‍රහාර විය හැකි බවත් තවත් වාර්තාවක දැක්විණි. මෙම පුවත වාර්තා වීමත් සමඟ ‘බ්‍රෙන්ට්’ සහ ‘නිව්යෝක් කෘඞ්’ තෙල් මිල ගණන් සියයට දෙකකින් ඉහළ ගිය අතර තෙල් සම්පතින් පොහොසත් ගල්ෆ් කලාපයේ තෙල් සැපයුම් සම්බන්ධයෙන් මෙන්ම රටවල් අතර ද උණුසුම් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් හටගෙන තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර්ස්)


RECOMMEND POSTS