ඉරාන ජනපති හමුවන්න ජනපති ට්‍රම්ප් සූදානම්



යහපත් වාතාවරණයක් උදාවන්නේ නම්, තමන් ඉරාන ජනාධිපති හසන් රොව්හානී මුහුණට මුහුණ හමුවීමට කැමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

ලොව බලවත් රටවල සාමාජිකයන්ගේ එකමුතුව හෙවත් ‘ජී7’ සමුළුව පසුගිය සති අන්තයේ ප්‍රංශයේ බියාරිට්ස් වෙරළාශ්‍රිත නගරයේ දී පැවැත්විණි. ඇමෙරිකා ජනපති ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීමක් කළේ එම සමුළුවට සමගාමීව පැවැත්වුණු මාධ්‍ය හමුවේදීය.

මෙවර සමුළුවේ සත්කාරකරු වුණු ප්‍රංශ ජනාධිපති මැක්රොන් ආසියා, අප්‍රිකා සහ මැදපෙරදිග රටවල රාජ්‍ය නායකයන්ට විශේෂයෙන් සමුළුවට එක් වන්නැයි ඇරැයුම් කර තිබුණි.

ඇමෙරිකාවේ සම්බාධක මැද වුවත්, ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ් සමුළුවටඑ පැමිණියේ ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රමුඛ නියෝජිත පිරිස පුදුමයට පත් කරමිණි.

ඉරානයට ඇරැයුම් කළ අවස්ථාවේදී ඉරානයෙන් නියෝජිතයකු පැමිණේවි යැයි තමන් විශ්වාස නොකළ බවත්, ඉරාන විදේශ ඇමැති හදිසියේ ප්‍රංශයට පැමිණීම තමන්ගේ ද පුදුමයට හේතුවක් බවත් ප්‍රංශ ජනාධිපති මැක්රොන් ද පවසා ඇත.

ඉරානයට ඇමෙරිකාව සම්බාධක පනවා ඇත්තේත්, ඉරානය සහ ඇමෙරිකාව අතර අර්බුදයක් පවතින්නේත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිණි. 2015 දී, බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවද්දී, ඇමෙරිකාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, රුසියාව, චීනය සහ යුරෝපා සංගමය එක් වී, ඉරානය සමඟ සාකච්ඡා පවත්වා ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණියේය.

එම එකඟතාවට අනුව, ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු සීමා කළේය. යුරේනියම් බල ගැන්වීමක් සිදු නොකළ බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. ඇතිකරගත් එම එකඟතාව මත ඉරානයට පැනැවූ සම්බාධක ඇමෙරිකාව විසින් ඉවත් කරනු ලැබුණි. ඉරානයට යළි ඔවුන්ගේ තෙල් අලෙවි කටයුතු පවා කර ගැනීමට අවස්ථාව උදා විය.

ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනපති ධුරයට පත් වීමෙන් පසු, ඉරානය සහ සෙසු ලෝක බලවතුන් ඇති කරගත් එකඟතාව නීතිවිරෝධී යැයි පෙන්වා දෙමින්, ඇමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් කටයුතු කළේය. ඒ සමඟ යළිත් වරක් ඉරානයට සම්බාධක පැනැවීය. ඉරාන විප්ලවීය හමුදාව ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේය. ඇමෙරිකාවත් ඉරානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි.

සාකච්ඡා පවත්වා නව න්‍යෂ්ටික එකඟතාවක් ඇති කර ගැනීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි. ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් ‘ජී7’ සමුළුවට සමගාමීව, ලෝක නායකයන් සමඟ පැවැති හමුවේදී කියා සිටියේ ඉරානය කිසිම අවස්ථාවක දැඩි ස්ථාවරයක සිට කටයුතු නොකරන බවත්, ඇමෙරිකාවේ ‘කෙණෙහිලිකම්’වලට විරෝධය දක්වන බවත්ය. කෙසේ නමුත් පැවැති සාකච්ඡා ඉතා සුහඳශීලී ස්වරූපයක් ගත් බව ප්‍රංශ පුවත් සේවා සඳහන් කරයි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS