ඉරාන ජනපති සතුටින්



ඉරානයට කෙණෙහිලිකම් කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් සමුගැනීම සතුටට කාරණාවක් යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී කියයි.

ඉරානය ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ කැබිනට් මණ්ඩලය ඇමැතූ අවස්ථාවේදීය. ඉරානය සහ ලෝක බලවතුන් අතරේ ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීම කළේ ජනාධිපති ට්‍රම්ප්ය. ඒ, ඊශ්‍රායලයට හිතවත්කම් පෙන්වමිනි. ට්‍රම්ප් ඊශ්‍රායලය සමඟ සමීප සබඳතා පැවැත්වීය.

න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමෙන් පසු ට්‍රම්ප් ඉරානයට සම්බාධක පැනැවීමක් කළේය. ඉරාන විල්පවීය හමුදාවේ ප්‍රධානී කසීම් සුලෙයිමානී ඝාතනයට අණ දුන්නේ ද ට්‍රම්ප්ය. ඒ, සුලෙයිමානී ත්‍රස්තවාදියකු බව පෙන්වා දෙමිනි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ පුරෝගාමියකු ලෙස සැලකෙන විද්‍යාඥ මොෂේන් ෆක්රික්සාදේ ඝාතනය සිදුවූයේ ද ට්‍රම්ප්ගේ නියෝගයකට අනුවය. ට්‍රම්ප් සිය අවසන් කාලයේ පවා උත්සාහ ගෙන ඇත්තේ ඉරානය සමඟ යුද්ධයකට පැටලීමටය.

ඉරාන රජය මේ වනවිට ධුරයෙන් ඉවත් වුණු ජනපති ට්‍රම්ප්ට එරෙහිව සම්බාධක පැනැවීමක් කර තිබේ. කසීම් සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් පළිගන්නවා යැයි ද ඉරානය පවසා ඇත.

මේ අතර ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට ඇමෙරිකාව යළි එක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඉරාන ජනාධිපති රොව්හානී අදහස් දක්වමින් කියා තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS