ඉරාන ජනපති රොව්හානි ඇමෙරිකාවට දෙහි කපයි



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන ඉරාන ජනාධිපති හසන් රොව්හානී මහා මණ්ඩල සැසිය අමතමින් ඇමෙරිකාවට දෙහි කැපුවේය.

2015 වසරේ දී ඉරානය සහ ලෝක බලවතුන් අතර ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගනිමින්, ඉරානයට දිගට හරහට ආර්ථික සහ වෙළෙඤ සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් ඉරාන ජනපති රොව්හානී ඇමෙරිකාවට දොස් පැවැරුවේය.

ඉරානය සමඟ සාකච්ඡා පවත්වා නව න්‍යෂ්ටික එකඟතා ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත. ඉරාන ජනාධිපති රොව්හානී අවධාරණය කරන්නේ තමන් සාකච්ඡා සඳහා පැමිණෙන්නේ, ඇමෙරිකාව තම රටට පනවා ඇති ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ලිහිල් කළොත් පමණක් බවය.

පසුගිය 14 වැනිදා සෞදියේ තෙල් ගබඩා සංකීර්ණවලට එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ද ඉරාන ජනාධිපති රොව්හානි අදහස් දැක්වීය. එම ප්‍රහාරයට ඉරානයේ සම්බන්ධයක් නොමැති බව රොව්හානි පැවැසීය.

සෞදිය යේමනයේ සිදුකරන ගුවන් ප්‍රහාරවලින් යේමන සිවිල් වැසියන් මියයෑම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ඉරාන ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ඉරානය කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ යුද්ධයකට පැටලෙන්නේ නැති බව ද රොව්හානි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියේය.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS