ඉරාන ජනපතිට - විදෙස් ඇමැතිට වීසා



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවීමට ඇමෙරිකාවට පැමිණීම සඳහා ඉරාන ජනාධිපති හසන් රොව්හානිට පමණක් නොව, ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ්ට වීසා ලබා දීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

ඉරානය සමඟ පවතින අර්බුදකාරී තත්ත්වය මුල්කොට ගනිමින් ඇමෙරිකාව ඉරාන ජනපතිවරයාටත්, විදේශ ඇමැතිවරයාටත් වීසා නිකුත් නොකරනු ඇතැයි සැකයක් පැවැතිණි.

ඒ, ඉරාන ජනපතිවරයාට සහ විදේශ ඇමැතිවරයාට ඇමෙරිකාවට පැමිණීම තහනම් කිරීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ගත් උත්සාහය හේතුවෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත්තේ, මහා මණ්ඩල සැසියට සහභාගී වන රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ට එසේ තහංචි පැනැවීමක් කළ නොහැකි බවය.

ඒ අනුව ලබන සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවීමට ඉරාන ජනපතිවරයාට හෝ විදේශ ඇමැතිවරයාට හෝ කිසිදු බාධාවක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.

මේ අතර, ඉරාන විදේශ ඇමැති මොහොමද් ජවාද් සරීෆ්ට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා යෑමට සූදානමින් සිටි බව ඉරාන පුවත් සේවා වාර්තා කළේය.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS