ඉරානය පුරා වයිරසය පැතිරීමේ බියක්



ඉරානයේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයක් ගණන 95 දක්වා ඉහළ ගියේය. කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති අතර, වයිරස ආසාදිතයන් යැයි සැක කෙරෙන ගණන 76 ක් යැයි ද පැවැසෙයි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී ප්‍රමුඛ ඉරාන රජයේ දැඩි මර්දනයට ලක් වුණු ඉරාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසන්නේ, ඉරානයේ සියයකට වැඩි ප්‍රමාණයක් කොරෝනා වයිරසයට බිලි වී ඇති බවත්, ඉරාන රජය එය එරට ජනතාවගෙන් වසං කරන බවත් ය.

මේ අතර ඇමෙරිකාව වෙනුවෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ ද ඉරාන රජයට චෝදනා කර ඇත්තේ, එරට ‘කෝවිඩ් 19’ වයිරසය පැතිරීම සම්බන්ධයෙන් ඉතා වැදගත් සැබෑ තොරතුරු ඉරාන රජය හංගන බවය.

ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ඉරාජ් හරිර්චි ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය විය. රෝගී වූ ඉරාජ් හරිර්චි කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකට ද සහභාගී විය.

ඒ වනවිට ඉරාජ් හරිර්චි ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී නොතිබුණි. ඉරාජ් හරිර්චි කහිමින්, දාඩිය පිසදමමින් අපහසුවෙන් මාධ්‍ය හමුවට එක් වුණු අයුරු විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.

මේ අතර ඉරානය සමඟ ඇති දේශසීමා වසා දැමීමට අසල්වැසි රටවල් රැසක් කටයුතු කර තිබේ. ඉරානයෙන් පැමිණෙන තුර්කි වැසියන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත් සැක සහිත පිරිස් නිරෝධායනය කළ බවත් තුර්කිය පවසා ඇත.
තුර්කිය ද මේ වනවිට ඉරානය සමඟ දේශසීමා වසා දමා ඇති අතර, ඉරාන වැසියන් කිසිවකු තුර්කියට ඇතුළුවීමට ඉඩ නොදෙන බව පවසා තිබේ. තුර්ක රජය, තුර්කි ඉරාන ගුවන් ගමන් ද නවතා දැමීමට පියවර ගෙන ඇත.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS