ඉරානය තවත් තෙල් නැවක් අල්ලා ගනී



ගල්ෆ් මුහුදු සීමාවේ යාත්‍රා කරන්න වූ තවත් තෙල් නැවක් අල්ලා ගැනීමට ඉරාන හමුදාව පියවර ගෙන ඇති බවත්, එම නැව ඉරාකයට අයත් තෙල් නැවක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අරාබි රටවලට හොරෙන් තෙල් ප්‍රවාහනය කරන්න වූ නැවක් තම හමුදාව අල්ලා ගත් බව ඉරානය ද නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. නැවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් සය දෙනකු අත්අඩංගුවට ගත් බව ද ඉරානය පවසා ඇත.

ඉරානය විසින් අල්ලා ගනු ලැබූ එම තෙල් නැව ඉරාකයට අයත් එකක් යැයි බටහිර රටවල් පැවැසුවත්, ඉරාක තෙල් අපනයන කටයුතු සම්බන්ධ අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ නැව ඉරාක රජයට අයත් එකක් නොවන බවය. ඉරාන නාවික හමුදාව විසින් නැව අල්ලා ගෙන ඇත්තේ ෆාර්සි දූපතට ඔබ්බෙන් ගල්ෆ් මුහුදේදීය. එහි තෙල් ලීටර් 7,00,000 ක් තිබුණු බව පැවැසෙයි. අල්ලා ගත් නැන

ඉරානය මීට පෙර ද අවස්ථා දෙකකදී විදෙස් තෙල් නැව් දෙකක් අල්ලා ගැනීමට කටයුතු කළේය. එම නැව් සහ ඒවායේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තවමත් ඉරාන අත්අඩංගුවේ පසුවන බව ද පැවැසෙයි.

මේ අයුරින් ඉරානය ගල්ෆ් මුහුදේ තෙල් නැව්වලට තර්ජනයක් වූයේ ඇමෙරිකාවේ උපදෙස් පරිදි, මහා බ්‍රිතාන්‍යය, ඉරානයට අයත් තෙල් නැවක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමෙන් පසුවය. එම ඉරාන තෙල් නැව සම්බාධක නොතකා සිරියාව බලා යාත්‍රා කරමින් තිබුණැයි ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් චෝදනා කර ඇත.

මේ අතර, ඉරානයෙන් එල්ලවන තර්ජවලට මුහුණදීමට ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය එක් වී ගල්ෆ් මුහුදේ නාවික බළඇණියක් පිහිටුවා ඇත. මේ සඳහා ජර්මන් නාවික හමුදාවට ද එක් වෙන්නැයි ඇමෙරිකාව ඉල්ලීමක් කර ඇති නමුත් ජර්මනිය අකමැත්ත පළ කර තිබේ.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS