ඉරානයේ චන්ද්‍රිකා මෙහෙයුම අසාර්ථකයි



ඉරානයට එරට නිෂ්පාදිත චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට යවා ඇත.

පරිසරය පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම සහ එරට කාලගුණ අනාවැකි පද්ධති තවදුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් එලෙස එම චන්ද්‍රිකාව උඩු ගුවනට යවා ඇත.

කෙසේ නමුත් අවසන් අදියරේදී ඇති වූ තාක්ෂණික ගැටලු කිහිපයක් නිසා අභ්‍යාවකාශ යානය කක්ෂයට ළඟා වී නැත.

අභ්‍යාවකාශ මෙහෙයුමේ පළමු හා දෙවැනි මෙහෙයුම් සාර්ථක වූ බවත් තෙවැනි අදියරේදී කක්ෂගත වීමේ වේගයට ළඟා වීමට නොහැකි වූ බව ඉරානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය මොහොමද් ජවාද් අසාරි ජහ්රෝමි ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කළේය.

ඉරානයේ නිෂ්පාදිත මෙම යානය ‘සිමෝර්ග්හ්’ යනුවෙන් නම් කර ඇත.

“චන්ද්‍රිකාව සාර්ථකව දියත් කළා. එහෙත් අවාසනාවකට එහි අවසන් අදියරේදී එය කක්ෂය මත ස්ථානගත කරන්න බැරි වුණා” යැයි අමාත්‍යවරයා කීවේය.

ඉදිරියේදී “දූස්ති” නමින් නම් කරන ලද තවත් චන්ද්‍රිකාවක් දියත් කරන බව ද අමාත්‍යවරයා පැවැසීය.

“දූස්ති චන්ද්‍රිකාව ගුවනට යවා මෙහෙයුම සාර්ථක බව අපි ලෝකයට පෙන්වනවා” යැයි හෙතෙම කීය.

හර්ෂණ තුෂාර සිල්වා
ප්‍රෙස් ටී.වී ඇසුරිනි


RECOMMEND POSTS