ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්



ඉරාන වැසියන් උසි ගන්වමින්, ඉරානය අස්ථාවර කිරීමට ඇමෙරිකාව කුමන්ත්‍රණය කරනවා යැයි චෝදනා කරමින්, ඉරාන හමුදාපති ජනරාල් හොසේන් සලාමී ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, ඇමෙරිකාව සහ ඉරානයට එරෙහි ඇමෙරිකන් හිතවාදී රටවල් සුනුවිසුණු කිරීමට ඉරානයට ශක්තිය ඇති බව පවසමිනි.

දින කීපයක පටන් ඉරානයේ විරෝධතා පැවැත්වෙයි. තෙහෙරාන් අගනුවර ද විරෝධතා පැවැත්විණි. විරෝධතාවලට හේතුව ඉරාන රජය හිටිහැටියේ ඉන්ධන මිල ඉහළ දැමීම සහ ඉන්ධන සලාක ක්‍රමයකට ලබා දීමට පියවර ගැනීමය.

ඉරානයට මෙසේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ ඇමෙරිකන් සම්බාධක නිසාය. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට විරෝධය දැක්වීමක් ලෙසය.

‘ඇමෙරිකාව, මහා බි්‍රතාන්‍යය, සෞදි අරාබිය සහ ඊශ්‍රායලය සමඟ එක් වී අපට (ඉරානයට) විරුද්ධව කුමන්ත්‍රණ කරනවා. මම ඇමෙරිකාවට කියනවා එසේ කිරීමෙන් වළකින්න. ඉරානයට ‘රතු කට්ට’ පනින්න දෙන්න එපා. එසේ වුවහොත් මහ විනාශයක් වේවි’ යැයි ජනරාල් ජනරාල් හොසේන් සලාමී පවසා ඇත.

ඉරාන විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ හරස් වන අතර දෙපිරිස අතර හටගත් ගැටුම් හේතුවෙන් මේ වනවිට 140 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවා කනස්සල්ල පළ කර ඇත.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS