ඇමෙරිකාව අපට ද්‍රෝහි වුණා



සිරියානු අර්බුදයේ දී ඇමෙරිකාව තමන්ට ද්‍රෝහී වුණැයි සිරියාවේ කුර්දි සටන්කාමීහු චෝදනා කරති. කුර්දි සටන්කාමීන් මෙසේ චෝදනා කරන්නේ, සිරියාවේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ආපසු ගෙන්වා ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය මුල්කොට ගනිමිනි.

ඇමෙරිකාවත් ජපානයත් අතර වෙළෙඳ ගිවිසුමක් ධවල මන්දිරයේදී අත්සන් තැබුණි. සිරියානු අර්බුදය ගැන ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීමක් කළේ එම අවස්ථාවේදීය.

සිරියානු අර්බුදයට පාර්ශ්ව කීපයක් සම්බන්ධ විය. එකිනෙකට වෙනස් මත දැරුවත්, ඔවුන් සැමගේ පොදු සතුරා වූයේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයයි.

අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී, ඇමෙරිකාවේ සහාය හිමිවූයේ කුර්දිවරුන්ටය. ඇමෙරිකාවෙන් ආයුධ ලැබීමෙන් පසු, කුර්දි තරුණ තරුණියන් ඇමෙරිකා සොල්දාදුවන් සමඟ එක් වී අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට සටන් වැදුණි.

සටන් බිමේදී අල්ලා ගත් අයි.එස්. ත්‍රස්තවාදීන් සිය ගණනක් කුර්දිවරුන්ගේ අත්අඩංගුවේ පසුවන බව ද පැවැසෙයි. සිරියානු අර්බුදයේ දී, ඇමෙරිකාව කුර්දිවරුන්ට සහාය ලබා දුන්නේ, සිරියාවේ ඔවුන් ජීවත් වෙන පළාත් සඳහා වෙනම පාලනයක් ලබා දෙන බවට පොරොන්දුවක් දෙමිනි. කෙසේ නමුත් එම පොරොන්දුව ඉටු කිරීමට ඇමෙරිකාවට නොහැකි විය. ඒ, සිරියානු රජයට රුසියාවේත්, ඉරානයේත්, කුර්දිවරුන්ට විරෝධය දක්වන තුර්කියේත් සහාය ලැබීම නිසාය.

අද සිරියාවෙන් අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය වී ඇතැයි සිරියානු රජය පමණක් නොව, ඇමෙරිකාව ද නිල වශයෙන් පවසා තිබේ. ඒ අනුව, සිරියාවේ කුර්දිවරුන්ගේ පාලනයට නතු පළාත්වල රැඳී සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ආපසු ගෙන්වා ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත. ඒ, එම පළාත්වල ආරක්ෂාව තුර්කි රජයට බාර දෙමිනි.

ඇමෙරිකන් හමුදා සිරියාවෙන් පිටව යද්දී, කුර්දිවරුන්ට ලැබුණු ආරක්ෂාව අහිමි වනු ඇත. ඉන්පසු ඔවුන් තුර්කි හමුදා ප්‍රහාරවලට ලක් වනු ඇති බවට බියක් හටගෙන තිබේ. මේ වනවිටත් තුර්කි හමුදා කුර්දිවරුන්ගේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වෙයි. ඇමෙරිකාව තමන්ට ද්‍රෝහී වුණැයි කුර්දිවරුන් ඇමෙරිකාවට චෝදනා කරන්නේ ඒ අනුවය.

ඇමෙරිකන් හමුදා ඉවත් කර ගැනීමෙන් පසු, සිරියාවේ කුර්දිවරුන්ගේ ඉරණම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ අවස්ථා ගණනාවකදී සාකච්ඡා පැවැත්විණි. කුර්දිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂිත කලාපයක් සිරියාවේ පිහිටුවීමට ට්‍රම්ප් සහ එර්දොවාන් අතරේ එකඟත්වයක් ඇතිකරගත් බව ද වාර්තා විය.

බීරූට්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS