ඇමෙරිකාවෙන් ඇවිටිලි



අර්බුද විසඳා ගැනීමට සාකච්ඡා කරමු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දිගින් දිගටම තමන්ට ඇවිටිලි කරනවා යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී කියයි.

ඉරාන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කළ කතාවේදීය.

‘එක පැත්තකින් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අපට දිගින් දිගටම සම්බාධක පනවනවා. ඉරාන වැසියන් දැඩි ලෙස පීඩාවට පත් කරනවා. ඉරාන නායකයන් හමුවී සාකච්ඡා කරමු ඔහු අනෙක් පැත්තෙන් යෝජනා කරනවා. අපේ කිසිම අදහසක් නැහැ ඇමෙරිකන් ජනාධිපති හමුවෙලා සාකච්ඡා පවත්වන්න’ යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී ජාතිය අමතමින් අවධාරණය කළේය.

ඉරානය සහ ජාත්‍යන්තරය අතර ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ට්‍රම්ප් කටයුතු කළේ පසුගිය මැයි මාසයේදීය.

එම පොදු එකඟතාවෙන් ඉවත් නොවන්නැයි ඊට සම්බන්ධ වුණු සෙසු රටවල් වන බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය දිගින් දිගටම ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේය.

ට්‍රම්ප් කියා සිටියේ ඔහුට පෙර ජනපති ධුරයේ සිටි බැරැක් ඔබාමාගේ මැදිහත් වීමෙන් ආරම්භ වුණු එම එකඟතාව දෝෂ සහිත බවත්, එයින් වැඩි වාසි ඉරානයට අත්වී ඇති බවත්ය. මීට අමතරව, මැදපෙරදිග කලාපය අස්ථාවර කරන ත්‍රස්තවාදියා ඉරානය යැයි ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කර තිබේ.

න්‍යෂ්ටික එකඟතාවයෙන් ඉවත් වීමෙන් පසු ට්‍රම්ප් ඉරානට නව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීය. ඒ, ඉරානයේ තෙල් නිෂ්පාදන කටයුතු සහ තෙල් විකිණීමේ කටයුතු ඉලක්ක කර ගනිමිනි. එම නව සම්බාධක හේතුවෙන්, මේ වනවිට එයින් ඉරාන ආර්ථිකය කඩා වැටීමකට ලක් වී ඇති බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS