ඇමෙරිකන් සොල්දාදුවන්ට ප්‍රහාරයක්



සිරියාවේ ඇමෙරිකන් සොල්දාදුවන් සහ ඇමෙරිකන් ආරක්ෂක අමත්‍යාංශ නිලධාරීන් පිරිසක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් ඇමෙරිකන් සොල්දාදුවන් තිදෙනෙක් තුවාල ලැබූහ.

එය පසුබෑමට ලක් වී සිටින අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බව පැවැසෙයි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ මෑන්බිජ් නගරයට නුදුරිනි. මෑන්බිජ් යනු කුර්දි සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින නගරයකි. කුර්දි සටන්කාමීන් අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සටන් වදින්නේ ඇමෙරිකන් හමුදාවේ ද සහාය ඇතිවය.

කුර්දිවරුන් සිරියානු රජයට ද විරෝධය දක්වයි. සිරියාවේ අසල්වැසියා වන්නේ තුර්කියයි. තුර්කිය සිරියාවේ කුර්දි සටන්කාමීන් ත්‍රස්තවාදීන් ලෙස සලකයි.

ඇමෙරිකන් රජය මේ වනවිට සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ආපසු ගෙන්වා ගැනීම ආරම්භ කර ඇත. ඇමෙරිකන් හමුදා සිරියාවෙන් පිටව ගියහොත්, තමන්ට සිරියානු රජයෙන්, තුර්කියෙන් පමණක් නොව, පසුබෑමට ලක් වුණු අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් අනතුරක් විය හැකි බව කුර්දිවරු බිය පළ කරති.

ඇමෙරිකන් හමුදා සිරියාවෙන් පිටවී ගිය පසු, කර්දිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, විශේෂ ආරක්ෂක කලාපයක් පිහිටුවීම කෙරෙහි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේත් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේත් අවධානය යොමු වී ඇති බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS