ඇමෙරිකන් කඳවුරුවලට යළිත් රොකට් ප්‍රහාර



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරට උතුරු දෙසින් පිහිටි ඇමෙරිකන් සොල්දාදුවන් රැඳී සිටින අල් බලාද් හමුදා කඳවුරට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල විය.

කඳවුරේ සිටි ඇමෙරිකන් සොල්දාදුවන්ට අනතුරක් සිදුවුණු බව වාර්තා නොවූවත්, කඳවුරේ සිටි ඉරාක සොල්දාදුවන් සිවු දෙනකු තුවාල ලැබූ බව ඉරාක පුවත් සේවා වාර්තා කර ඇත.

අල් බලාද් කඳවුරට රොකට් ප්‍රහාර 6 ක් එල්ල වූ බව ඇමෙරිකන් හමුදාව පවසයි. ඉරාකයේ රැඳී සිටින, ඉරාක හමුදාවට පුහුණුව ලබා දෙන ඇමෙරිකන් හමුදා ප්‍රධානීන්, උපදේශකවරුන්, එෆ් 16 ප්‍රහාරක යානා නඩත්තු සේවකයන් නවාතැන් ගෙන සිටින්නේ මෙම හමුදා කඳවුරේය. රොකට් ප්‍රහාරයෙන් කඳවුරට හානි සිදුවිය. කඳවුරේ අවන්හලට දරුණු හානි සිදුවුණු බව ද පැවැසෙයි.

ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. එය ඉරාකයේ සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් කළ ප්‍රහාරයක් යැයි අනුමාන කෙරේ. පසුගිය 8 වැනිදා, ඉරාන හමුදාව ඉරාකයේ ඇමෙරිකන් කඳවුරු දෙකකට බලැස්ටික් මිසයිල යොදා ගනිමින් පහර දුන්නේය. ඒ, පසුගිය 3 වැනිදා ඇමෙරිකාව, මිසයිල ප්‍රහාරයකින්, ඉරාන හමුදා නායක කසීම් සුලෙයිමානී ඝාතනය කිරීමේ සිදුවීමට විරෝධය දක්වමිනි.

බැග්ඩෑඩයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS