ආරක්ෂාව වෙනුවෙන් විශේෂ සැලැස්මක්



ගල්ෆ් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ සැලැස්මක් ඉදිරිපත් කරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී ඉරිදා (22) ප්‍රකාශ කළේය.

කලාපයේ අනෙක් රටවල ද සහයෝගය ඇතිව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට එම සැලැස්ම ඉදිරිපත් කරන බව ද ඉරාන ජනාධිපතිවරයා පැවැසීය.

සෞදි අරාබියේ ඇරැම්කෝ තෙල් සමාගමේ ගොඩනැගිලි සංකීර්ණවලට ප්‍රහාර එල්ල කළ බවට මේ වනවිට ඉරානයට චෝදනා එල්ල වී තිබේ. සැප්තැම්බර් 14 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරය සෞදි අරාබියට එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස සැලකේ. සෞදි අරාබිය යනු ලොව විශාලතම තෙල් අපනයනය කරන්නාය.

ඉරානය දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර යේමනයේ හූති කැරැලිකරුවන් එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ. හූති සංවිධානය යේමන සිවිල් යුද්ධයේ එක් පාර්ශවයකි. හූති කැරැලිකරුවන්ට ඉරානයේ සහාය හිමි වේ. අනෙක් ප්‍රධාන පාර්ශවය වන්නේ ඒකාබද්ධ හමුදා වන අතර සෞදි අරාබිය ඊට නායකත්වය දෙයි.

“මේ වසරේදී ලෝකයට අපි සැලැස්මක් ඉදිරිපත් කරනවා. ඉස්ලාමීය ඉරාන ජනරජය ලෙස අපි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී මේ සැලැස්ම ඉදිරිපත් කරනවා. කලාපයේ අනෙක් රටවල ද සහයෝගය ද ඇතිව පර්සියානු ගල්ෆ් කලාපයට සහ ඕමාන මුහුද ආරක්ෂා  කරගැනීමේ අරමුණින් මෙම සැලැස්ම ඉදිරිපත් කරනවා” යැයි ඉරාන ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඔහුගේ වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිවරයා හෝ ඉරානය වැඩි විස්තරයක් ප්‍රකාශයට පත් කර නැත.

සෞදි අරාබියට එල්ල වූ ප්‍රහාරයත් සමඟ එරටට ඇමෙරිකානු හමුදා යැවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිකුරාදා (20) අනුමැතිය දුන්නේය. සෞදි අරාබියේ ගුවන් හා මිසයිල පද්ධති වැඩිදියුණු කිරීමට සහාය වීමට ද ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට පියවර ගෙන ඇත.

විදෙස් හමුදා කලාපයේ සිටීම තෙල් සහ නාවික කටයුතු සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කරන බව ද ඉරාන ජනාධිපතිවරයා කීවේය.

අබ්කයික් සහ කුරෙයිස් තෙල් පහසුකම් සහ ගබඩා සංකීර්ණ වෙත එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර සම්මතය (ජාත්‍යන්තර ඕඩරය) ආරක්ෂා කිරීමට ගෝලීය ප්‍රජාවගේ කැමැත්ත පිළිබඳ පරීක්ෂාවක් යැයි ද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී එක්සත් පෙරමුණක් ගොඩනගන්නේ යැයි ද සෞදි අරාබිය ප්‍රකාශ කර ඇත.

“අපි කාගෙවත් දේශසීමා උල්ලංඝණය කරන්නේ නැහැ. ඒ වගේම අපි කාටවත් අපේ දේශසීමා උල්ලංඝණය කිරීමට ඉඩ දෙන්නේ නැහැ” යැයි ඉරාන ජනාධිපති හසින් රොව්හානී පැවැසීය. ඉරාකය සමඟ 1980-1988 කාලයේ පැවැති යුද්ධය 39 වැනි සංවත්සරයත උත්සවයට එක්වෙමින් ඉරාන ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කළේය. ඉරාන ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියේ මේ කරුණු සඳහන් කර ඇත.

සංවත්සර උත්සවය වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයට හමුදා ආචාර පෙළපාළියක් ද පැවැති අතර ඊට දිගු දුර මිසයිල, යුද නෞකාව යනාදිය එක්කර තිබූ බව වාර්තා විය.

ඉරාකයේ හිටපු පාලකයකු වන සදාම් හුසේන් 1980 වසරේදී ඉරානය ආක්‍රමණය කිරීමත් සමඟ එම යුද්ධය ආරම්භ විය. සංවත්සරය වෙනුවෙන් ඉරානයේ තවත් නගර කිහිපයක උත්සව සහ ආචාර පෙළපාළී පැවැත්විණි.

හර්ෂණ තුෂාර සිල්වා
ඩෝන් ඇසුරිනි


RECOMMEND POSTS