අයි.එස්. ත්‍රස්තයෝ 800 ක් පලා යති



උතුරුදිග සිරියාවේ, කුර්දි සටන්කාමීන් විසින් අල්ලා ගනු ලැබ සිර කඳවුරක සිරගත කළ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් 800 දෙනකු පලාගොස් ඇතැයි කුර්දි බලධාරීහු පවසති.

පලා ගිය ත්‍රස්තවාදීන්ගෙන් බහුතරය විදේශවලින් සිරියාවට පැමිණ අයි.එස්. සාමාජිකයන් ලෙස බැඳුණු පිරිස් යැයි කුර්දි බලධාරීහු වැඩිදුරටත් කියති. මොවුන් පලා ගොස් ඇත්තේ අයින් ඉසා සිර කඳවුරෙනි. අල්ලා ගත් අයි.එස්. සාමාජිකයන්ගේ කාන්තාවන් සහ දරුවන් පවා රඳවා ඇත්තේ මෙම කඳවුරේය.

මෙම කඳවුර කුර්දි සටන්කාමීන්ගේ ග්‍රහණය යටතේ පැවැතිණි. සිරියාවේ උතුරුදිග පළාත්වලින් අයි.එස්. ත්‍රස්තවාදීන් නෙරපා දැමීමට සටන් වැදුණෝ මෙම කුර්දි සටන්කාමීහුය. මොවුන්ට ඇමෙරිකානු සොල්දාදුවන්ගේ සහාය හිමිවිය.

මේ වනවිට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකන් සොල්දාදුවන් ආපසු ගොස් ඇත. ඒ අනුව, කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනමින් තුර්කිය හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇත. එම ප්‍රහාර හේතුවෙන් 1,30,000 කුර්දිවැසියන්ට ඔවුන්ගේ ගම්බිම් අතහැර පලායෑමට සිදුවී ඇතැයි ද පැවැසෙයි.
සිර කඳවුරේ සිටි ත්‍රස්තවාදීන් පලා ගොස් ඇත්තේ තුර්කිය එල්ල කළ ප්‍රහාර හමුවේ යැයි කුර්දි බලධාරීන් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS