අබුඩාබි එන්නත සාර්ථක වන ලකුණු



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, චීනය සමඟ එක්වෙමින් නිර්මාණය කරමින් පවතින එන්නත ගැන බලාපොරොත්තු තැබිය හැකි යැයි විදෙස් පුවත් සේවා ඊයේ (17) වාර්තා කළේය.

මෙම එන්නත නිර්මාණය සඳහා මැදිහත් වී ක්‍රියා කරන්නේ අබුඩාබි සෞඛ්‍ය අමත්‍යාංශය, අබුඩායි කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරය, ‘ජී42’ සමාගම සහ චීන ජාතික බයෝටෙක් සමාගමය.

එන්නත යොදා ගනිමින්, පළමු සහ දෙවැනි අදියරේ සිදු කළ පර්යේෂණ සාර්ථක වී ඇති බැවින්, එන්නතේ තෙවැනි අදියර ඊයේ (17) ඇරැඹිණි. ඒ, ස්වේච්ඡාවෙන් සම්බන්ධකරගත් 15,000 කට එන්නත ලබා දීමෙනි. අත්හදා බැලීමට තෝරාගෙන ඇත්තේ අවුරුදු 18 ත් 60 ත් අතර පිරිසකි.

‘අප කොවිඞ් 19 වයිරසය වෙනුවෙන් එන්නත් දෙකක් නිර්මාණය කළා. ඒ, වයිරසයේ ප්‍රභේද දෙකක් වෙනුවෙන්. ස්වේච්ඡාවෙන් සම්බන්ධ කරගත් 15,000 දෙනාට සති 3 කට සැරයක් එන්නත් දෙකම ලබා දෙනවා. මෙම අත්හදා බැලීමට මාස 6 ක ගත වේවි. එන්නත නිර්මාණයේ අරමුණ කොවිඞ් 19 වයිරසය ආසාදනය වීම වැළැක්වීමයි’ යැයි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කොවිඞ් කළමනාකරණ ඒකකයේ ප්‍රධානී නවාල් අල්කාබී මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ගෝලීය වසංගතයක් වූ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ පසුගිය 2019 දෙසැම්බරයේ, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි.

අද චීනයෙන් වාර්තාවන ආසාදිතයන් සහ මරණ අඩු වී ගොස් ඇති නමුත්, වයිරසය ඇමෙරිකාවටත්, ලතින් ඇමෙරිකානු රටවලටත් විශාල බලපෑමක් එල්ල කර තිබේ. වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වීමට පටන් ගෙන ඇත්තේ ඇමෙරිකාවෙන් සහ බ්‍රසීලයෙනි.

වයිරසය අඩපණ කිරීමට තවමත් සාර්ථක එන්නතක් නිර්මාණය කර නැති නමුත් රටවල් බොහොමයක් එන්නත් නිර්මාණයට සම්බන්ධ වී සිටී. චීනය පවසා ඇත්තේ තමන් සාර්ථකව එන්නතක් නිර්මාණය කළොත් එය නොමිලේ ලෝකයට ලබා දෙන බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ සාර්ථක වේවි යැයි බලාපොරොත්තු තැබිය හැකි එන්නත් 23 ක් අවසන් අත්හදා බැලීම්වලට යොදා ගෙන ඇති බවය. එම එන්නත් 23 අතරේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ චීනය එක් වී නිර්මාණය කරන මෙම එන්නත ද ඇති බව පැවැසෙයි.

ඩුබායිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS