අපට ගැහුවොත් අපිත් ගහනවා



යුද්ධ කිරීමට තමන්ගේ කිසිදු අපේක්ෂාවක් නැති නමුත්, සෞදිය සහ ඇමෙරිකාව බොරු චෝදනා එල්ල කරමින්, තමන්ට පහර දුන්නොත්, ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බව ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසා ඇත.

එසේ වුවහොත් එය තවත් ලෝක සංග්‍රාමයක් තෙක් දුරදිග යනු ඇති බවත්, ඊට සම්බන්ධ වන සියලු පාර්ශ්වලට පසුතැවීමට හේතුවක් වනු ඇති බවත් ඉරාන ජනාධිපති එසන් රොව්හානී පෙන්වා දෙයි.

සෞදිය, ඇමෙරිකාව සහ ඉරානය අතර යුද උණුසුමක් මේ වනවිට නිර්මාණය වී ඇත්තේ, මීට සතියකට පෙර, ඉකුත් 14 වැනිදා, සෞදියේ තෙල් ගබඩා සංකීර්ණ දෙකකට එල්ල වුණු නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරය.

ප්‍රහාර එල්ල කළේ තමන් යැයි එහි වගකීම බාර ගත්තේ යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන්ය. හවුති සටන්කාමීන් කියා සිටියේ, සෞදිය ඔවුන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ගුවන් ප්‍රහාරවලට විරෝධය පළ කිරීමට තෙල් ගබඩා සංකීර්ණ දෙකට පහර දුන් බවය. හවුති සටන්කාමීන්ට ඉරානයේ සහාය හිමිවන බව ප්‍රසිද්ධ රහසකි.

ඇමෙරිකාවත් සෞදියත් තරයේ පවසා ඇත්තේ, තමන්ගේ තෙල් ගබඩා සංකීර්ණවලට පහර දුන්නේ ඉරානය බවය. එම ප්‍රහාරය සෞදියට එල්ල කළ ප්‍රහාරයක් නොව, මුළු ලෝකයටම එල්ල කළ ප්‍රහාරයක් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. ප්‍රහාරය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා පැවැත්වීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සෞදියටත්, ඉන්පසු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයටත් ගියේය. යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සෞදිය ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද හවුල් කර ගනිමිනි.

මේ අතර, සෞදි රජයේ තෙල් ගබඩා සංකීර්ණවලට එල්ලවුණු ඩ්‍රෝන යානා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් සෞදියට පැමිණ සිටින බව ද වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම සෞදියට පැමිණියේ, ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යැයි සෞදිය කළ ඉල්ලීමට පිළිතුරු දෙමිනි.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS