ඊජිප්තුවේ සෞඛ්‍ය සැපයුම් වැඩිකරයි



ඊජිප්තුව කොරෝනා වසංගතයට එරෙහි ව්‍යාපෘති තවත් වේගවත් කර ඇති අතර රජයේ රෝහල්වෙත වෛද්‍ය උපකරණ වැඩිපුර සපයන ලෙස නිෂ්පාදකයන්ට හා සැපයුම්කරුවන්ට නියෝග කර තිබේ.

ඒ සඳහා අමතර ඊජිප්තු පවුම් බිලියනයක් හෙවත් ඇමරිකන් ඩොලර් මිලියන 64ක් වෙන්කර තිබේ.

කෙසේ වෙතත් වෛද්‍යවරු පවසන්නේ මිලියන 100ක අධික ජනගහණයක් වෙසෙන රටක මහජන සෞඛ්‍ය පද්ධතිය මෙවැනි රෝගයකට ඔරොත්තු දෙන්නේ ද යන්න පිළිබඳ ගැටලු තිබෙන බවයි.

දශක කිහිපයක සිට සෞඛ්‍ය අංශයට කරන ලද අඩු ආයෝජන හේතුවෙන් ඇතැම් රෝහල්වල සේවා සැපයීම් සිදුකරන ලද්දේ පරිත්‍යාග මතය. ඒ හේතුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් සහ රජයේ ‍රෝහල්වල ගුණාත්මක බව අඩුවීම හේතුවෙන් මෑත කාලීනව රෝගීන් වැඩි පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ පුද්ගලික අංශයෙන් යැයි වාර්තාවල සඳහන් වේ.

කයිරෝ නගරයේ බුලාක් රජයේ රෝහලේ මීට මාස කිහිපයකට පෙර අලුත්වැඩියා කිරීම ආරම්භ කර තිබෙන අතර මෙය සිදුකර ඇත්තේ ද සමාජ මාධ්‍ය ඔස්සේ දියත් කරන ලද ව්‍යාපෘතියකිනි. කෙසේ වෙතත් නිරෝධායන කටයුතු සඳහා අනෙක් රෝහල් වෙන්කර ඇති බැවින් සාමාන්‍ය ප්‍රතිකාර සේවාවන් සඳහා විවෘත කර ඇති බුලාක් රජයේ රෝහලේ දක්නට ඇත්තේ දැඩි තදබදයකි.

''මෙය ඒතරම් හොඳ තත්ත්වයක් නොවෙයි. සෑම දිනකම පිඩනය වැඩි වෙන බව අපට දැනෙනවා. අපි වසර ගණනාවක් විවිධ ගැටලුවලින් පීඩා වින්දා. අපට වෛද්‍ය උපකරණවල හිඟයක් පවා තිබෙනවා." වෛද්‍යවරයකු කීවේය.

ඊජිප්තුව 2019/20 අයවැයෙන් ඊජිප්තු පවුම් බිලියන 125ක් සෞඛ්‍ය අංශයට වෙන්කර තිබිණි.

 

 


RECOMMEND POSTS